අපට අප හමුවූයේ අහම්බයකිනි.. මේ බැඳීමේ අපූර්වත්වය ගැබ් වි ඇත්තේද එම අහම්බය තුළමය.
මා ලෙහෙසියෙන් කෙනෙකුට මෙල්ල නොවන හිතුවක්කාරියෙකි. නමුදු නුබේ ස්නේහය හමුවේ මා නිවේ. එක රැව්මක්, බැණුමක් එල්ල කිරීමට මත්තෙන් වචනයක වෙනසකින් පවා මා නුඹට මෙල්ල වේ.. සැබවින්ම ප්‍රේමය යනු එයමයැයි මට සිතේ. අනික් පෙම්වතුන් මෙන් තෙදොල් බස්, නැළවිලි වදන් නුඹ ළඟ නැත. ආදරේ දැයි අසන වාරයක් පාසා ආදරේ යැයි නුඹ කියන්නේද නැත. නුබේ වචනයෙන් කිවහොත් එය නුඹට සෙට් නැත. එහෙත් ආදරයේ අඩුවක් නැති බව මා දනිමි. අප ආ මේ ගමනේ නුඹ මා කෙරේ සිදුකර ඇති කැපකිරීම් නම් අපමණය. ෆැන්ටසියක ජීවත් වූ බොළද කෙල්ලක වූ මා ජීවිතය අවබෝධ කරගත්තේ නුඹෙනි. ආදරයට ආදරය කරන්නට මඟ සකසා දුන්නේ නුඹය. වැටෙන වාරයක් පාසා නැගිටින්නට අම්මා තාත්තා සේම උරදුන්නේ නුඹය. හැමදෙයකටම කඳුළු මුල් කරගත් මට නාඩා ජීවිතයට මුහුණ දීමට සවි දුන්නේද නුඹය. කේන්තියේ උපරිමයට ගිය විට "මට මේක එපා වෙලා අපි මේක නවත්තමු" යැයි මන්තරයක් මෙන් මතුරන නපුරු මට "එහෙම දාලා යන්නෙ කොහොමද මම උඹට ආදරෙයි" යැයි කියමින් පසුපසින් විත් ප්‍රේමකරනා අහිංසක පෙම්වතා නුඹය. අඩමින් නෝක්කාඩු කියමින් පසුතැවුනු ජීවිතයේ සිනාසෙන්නට, සතුටින් සිටින්නට ඕනෑ තරම් හේතු තිබේ. ඒ හේතු එකිනෙක පහදා දෙන්නේ නුඹය. මගේ නපුරුකම් හමුවේ තව තවත් මට ළං වෙන, එපා වෙන්නට ඕනෑ තරම් හේතු තිබුනද තව තවත් මට බැඳෙන සංසාරගත බැඳීම නුඹය. ළඟ සිටින නිමේෂයන්හි මෙන්ම දුරින් හිඳිනා තැන්වලදී පවා හුස්මකින්වත් වෙනස්කමක් නොකර මා රකින අපූරු පෙම්වතා නුඹය. සැබවින්ම මා අහිංසක නැත. නපුරුකමේද සීමාවක් නැත. නමුත් ඒ සෑම අවස්තාවකම නුඹ මා දරාගනී. රණ්ඩුවකට මුල පුරනා සෑම අවස්තාවකම නුඹ ඉවසීමෙන් එය මඟහරී. සත්තකින්ම නුඹ සෑම කෙල්ලෙක්ම පතනා ගතිගුණ ඇති කොල්ලෙකි. හැම කෙල්ලෙකුටම නුඹ වන් කොල්ලෙකු හිමිවනවා නම් එය පිනකි. සැබවින්ම ඒ පින නොඅඩුව මට ලැබී තිබේ. වචන වලින් ආදරේ පෙන්වීම, බොළඳ ලෙසින් හුරතල් වීම් ආදිය නුඹට රිසි නොවූවද ඇවැසි තැන ඇවැසි ලෙසින් පෙම් කිරීම නුඹටම ආවේණිකය. නුබේ ආදරය ගැන කියන්නට බොහෝ දේ තිබේ. නමුත් නුඹ කියවීමට කම්මැළි බව මා දනිමි. එනිසා මේ ඇතිය..🤭 ඉතිම් පෙම්වත, මේ සසර කොතරම් දුරදැයි මා නොදනිමි. නමුත් මේ සසරේ හැම ආත්මයකම මා නුඹවම පතමි. සාගරයක් තරම් ආදරයක් රැගෙන නුඹට වද දීමට ආත්මයක් පාසා එන බව පමණක් පොරොන්දු වෙමි..🙈 මුලු සසරම නුඹ නමටම ලියා තබමි..
ඔයාගෙ සුදු නෝනා..🤭

No comments:
Post a Comment