නූතන සිංහල කවියේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය හැරුණු කොට වත්මනෙහි කාව්‍යකරණයෙහි නිරත වන කිවිඳියන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව අවධානය යොමු කිරීම වටී.
ඒ අතර විපුලි හෙට්ටිආරච්චි කිවිඳිය සිංහල කවියෙහි දැකිය හැකි කිවිඳියන්ගේ අඩුව පිරවීමට සමත් කෙනෙක්. (අමරකීර්ති,2016, 94) ස්ත්‍රී අත්දැකීම් හා භාවයන් මනා පරිචයකින් යුතුව ප්‍රතිනිර්මාණයෙහි ලා සමත්කම් දක්වා ඇති බව ඇයගේ නිර්මාණ දෙස විචාරක්ෂිය යොමු කිරීමෙදී දැකගත හැකිය.
උ-වැසියකගෙන්
සිවුවනක් පිරිස් මැද අපිත් හිටියා පෙරට
පන්සලේ -ගම්දොරේ දනුත් පිදුවා යසට
ආරාම - උයන් වතු සොය සොයා ගෙස් නිබඳ
පුරවරේ- රෑ තියේ බණත් ඇහුවා අපිම
සංසාරේ හැටි අනේ හැඳින අටලෝ දහම
කැටේ කැඩුවා කඩෙන් ගත්ත අට පිරිකරට
සතර පේරුවෙ නෑයෝ නිවන යන පිංකමට
පිනේ පින් බර කොලුත් ඇරලුවා පන්සලට
අපි අපේ පාඩුවේ අපේ පින් පිරුවාට
අපේ හාමුදුරුවොවත් කියා දුන්නෑ අපට
ලේ නහර සම් මසද ජරාවක් නම් කයම
ගෑනුන්ගේ කිලි කිළුටු පවක් වන්නේ කෝම?
සැබවින්ම මෙකව අපූරු නිර්මාණයකි. වත්මන් සමාජ සංස්ථාවේ සියලු යථාර්තයන් ඇය සියුම්ව කවිය ඔස්සේ ගෙනහැර පායි. මෙහි එන ස්ත්‍රීය ආමන්ත්‍රණය කරන්නේ සමස්ත භික්ෂූ සංස්ථාවයි. මැය ස්ත්‍රියක් සතු ශක්තිය මෙකී කව ඔස්සේ අවධාරණය කරයි. සාමන්‍ය සමාජයේ බණ දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේලාය. නමුත් මෙහිදී එම කාර්යය මැය සිදුකරන බවක් කියවන්නාට හැඟේ. සමාජයේ සියලු තැන්වලදී මූලිකත්වය ගන්නා වූ ස්ත්‍රීයට ආගමික සංස්ථාවේදී පමණක් 'කිලි' යන සංකල්පය පෙරටු කොටගෙන මුල් තැනක් හිමි නොවේ. එය සැබවින්ම අසාධාරණය. කවිය අවසානයේ ඇය අසන්නේ උවැසියෝ යනුවෙන් හඳුන්වන්නේ යටත්වැසියන්ද යන ප්‍රශ්නයයි. සැබවින්ම මෙය නිර්භය ප්‍රශ්න කිරීමකි. කවිය මගින් සිදුවිය යුත්තේද මෙය බව මාහැඟි අදහසයි. එසේම ඇයගේම දෙවැනි කාව්‍ය සංග්‍රහය වූ සකුන්තලාවන්ගෙන් චූල කාව්‍යයක් කෘතියේ එන නෑගම් යාම කවියද පාඨකයාගේ පරිකල්පනය විවර කරන්නා වූ කවකි.
සිතුවිලි රියෙන් බැස
ඔහු විසූ කුලී ගෙට
ගිය දාක
පොඩි පුතුගෙ දඟ දෑහෙ
කෙළිකමට මත් වීමි
ආගන්තුක සිනාවකින්
සිඟිත්තාගේ මව
උණු උණුවේ ගෙනැත් දුන්
තේ කෝප්පයෙන්
ගින්දරක් පිටවුණෙන්
ගෙහිමි එන්නට කලින්
රියට නැග
සමු ගතිමි
ස්ත්‍රී චිත්ත සන්තානය තුළ ලැගුම් ගත් ගූඨ සිතිවිලි ඉතා සියුම්ව මෙමගින් නිරූපිතය. සැබවින්ම තේ කෝප්පයෙන් ගින්දර පිට වූයේ කුමක් නිසාද? ඇතැම් විටක කථිකාව හා ගෙහිමියා අතර ඇති ඇසුරට බිරිඳගේ ඇති අකමැත්ත උණු තේ කෝප්පයෙන් පිට වූ ගින්දර ලෙස පෙන්වා දෙන්නට ඇත. මැය මෙකී නිවසට යාමට මත්තෙන්ද සිරවී සිට ඇත්තේ සිතුවිලි රියකය. ගෙහිමියාගේ බිරිඳද මැය වෙත හෙලා ඇත්තේ ආගන්තුක සිනහවකි. මේ ඇයගේ පැරණි පෙම්වතෙක්ද? නැතිනම් ඒකපාර්ෂික ප්‍රේමයක්ද? එය සිතීම පාඨකයාටම ඉතිරි කොට කවිය අවසන් වේ.
එසේම අනුරාධා නිල්මිණී කිවිඳියද අද්‍යතන සිංහල කවි පරපුරේ කැපී පෙනෙන කිවිඳියකි. ඇයගේ ඉර්තු කාව්‍ය සංග්‍රහයෙහි 35 වන කවිය මෙලෙස දක්වමි.
පතා මෙහි පැමිණ නැත
හදවතේ තජ්මහලක් නැත
කතා කළ කිසිත් නැත
නොකී කිසිවක්ද නැත
ඇතෑරිය යුතුම තැන
අතින් අතහැර අත
ඉතා සතුටින් ඔබට
පිටව යා හැක හිතවත
අප කුමක් රැගෙන මෙලොවට එන්නේද? කිසිවක් නොමැත. උපතේදීම හදවතක් හිමිවන මුත් ප්‍රකාශ කිරීමට මහ ලොකු හැඟුම් නොමැත. අරමුණක් නොමැති ජීවිතේ පතා ආ කිසිත් නැත. නමුදු හදවතක් ඇත. ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු සිතිවිලි නම් මහ හුඟක් ඇත. එය තජ්මහලක් වැනිය. අනේකවිධ සිතුවිලි අතර කිසිවෙකුට පැවසිය නොහැකි තම චිත්ත සන්තානය තුළම ඉපදෙන මියැන සිතිවිලි පවතී. ප්‍රේමය නමින් තනි අරුතක් දුන්නද සැබැවින්ම එක අනෙක් පාර්ශවය තුළ පවතින්නේදැයි සංශයකි. කාලය අපූරුවට මිනිස් සිත් හා ගණුදෙණු කරයි. වේදනාවන් සුවපත් කරයි. ඉදින් මේ කෙටි වූ ජීවිතයෙහි හමුවන වෙන්වන බැඳීම් වලින් ඉතිරි වන්නා වූ මතක සේම වේදනාවද අපමණය. හමුවී ළංවී කතා බහ කළවුන් අද වෙන්වන්නට අර අදියි. සතුටින් සිනා සී ඔවුන්ට සමුදිය යුතුය. අසීරුවෙන් හෝ කිරීමට ඉතිරිව ඇත්තේ එය බව කථිකාවගේ "ඉතා සතුටින් ඔබට පිටව යා හැක හිතවත" යන දෙපදයෙන් ජනිත වේ. සැබෑ ප්‍රේමයේ අරුතට නිර්වචන දිය නොහැකි වුවත් එය සැබවින්ම පරිත්‍යාගයක් බව මෙමඟින් ගම්‍ය වේ.
එසේම දිනූ රාජගුරු කිවිඳිය රචිත මල් වඩම් සිනාසිය යුතුය කාව්‍ය සංග්‍රහය තුළද භාෂාත්මක ප්‍රාගුණ්‍යය හා කාව්‍යමය ශිල්පයන්හි විශිෂ්ටතාව කැපී පෙනෙන බව එහි නිර්මාණයන් රසවිඳීමේදි ගම්‍ය වේ. මානව සබඳතාවන් අතරින් වඩාත් සුන්දර එසේම ප්‍රබල සබඳතාවක් ලෙසින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය නිර්වචනය කළ හැකිය. ප්‍රේමයේ මිහිර සේම විරහවේ වේදනාවද සියල්ලන්ටම විඳ දරා ගැනීමට සිදුවේ. මෙයට එකිනෙකා මුහුණ දෙන ආකාරය වෙනස් ය. විරහ වේදනාවක් දැණුනු විට යමෙකු උල් පිහියකින් හෝ වෙඩි උණ්ඩයකින් එය විසඳ ගැනීමට උත්සහ දරනවා සේම තවත් අයෙකු ඉතා සියුම් ලෙස තම තෙලි තුඩ හසුරුවයි. මෙම කෘතියේ යම් යම් නිර්මාණ ඔස්සේ සම සිතින් ප්‍රේමයේ සොඳුරු බව හා ප්‍රේමයේ කටුක බව දරාගත් සොඳුරු සිතැත්තියන් හමුවේ. මෙහි එන රාත්‍රිය වී ඔබයි එන්නෙ යන කවිය ඔස්සෙ කථිකාව තම විවාහ මංගල දින සිදුවීම් කිහිපයක් අතීතාවර්ජනයකට එළබෙන්නේය. ඇයට එහිදී අවස්ථා කිහිපයකදීම ඔහුව සිහි වේ. ගතින් ඔහුගෙන් වියුක්තව සිටියත් සිතින් ඔහු අසල ඇය ඇති අයුරු පාඨකයාට විශද වේ. ඔහු ඇගේ මනසට කෙතරම් සමීපදැයි සේම, ඔහු මායාවක් සේ ඇය සමඟ සිටින බවද මෙයින් අපට පැහැදිලි වේ.
පල්ලියේ අල්තාරෙ ළඟ දී
වේල්පොට පෑගුණෙන් කකුලට
වැටෙන්නට ආසන්න මොහොතෙම
කොහෙන් හරි ඔබ ආව එතනට
දෑත දී මට වාරුවෙන්නට
එසැණ ඔබගේ දෑත හරහා
සියුම් ගැස්මක් හිතට එබුණා
පරෙස්සම් මදි චෝදනාවක්
හිනාවේ පැටලිලා තිබුණා
මඟුල් දිනයේදී ඇගේ සාරියෙන් ගැලවී වැටුණ පුංචි සුදු පැහැ පබළුව ඔහු ළඟ පරිස්සමින් තවමත් තිබෙනවා විය හැකිය. නමුදු අතාරින්නට ලෝබ සිතුණු උණුසුම් අතැඟිලි දැන් ඈ සතු නොවේ. එසේම ඔහු හා ඇය අතරේ වු මිහිරි අතීත මතකයට තවත් සුන්දරම මතකයක් එක් වූ ලෙසයි සුදු පබළුව ඔහු අත පත් වන්නේ. මෙකී සුදු පබළුව ඔස්සේ ඔවුන් දෙදෙනාගේ නොබිඳුණු ආදරය සංකේතවත් කරයි. දැන් එය ඈ ළඟ තිබෙනවාටත් වඩා සුරැකිව ඔහු ළඟ යැයි ඈ සිතයි. ඇයගේ අතින් සැමියාට පලඳවන්නට තිබු මඟුල් මුද්ද අතින් ගිලිහී නතර වන්නේත් ඔහු පා මුලයි. එම ගිලිහුණු මඟුල් මුද්ද ද ඇගේ ආදරය තවමත් ඔහු ළඟ පවතින බවට දැක්වූ තවත් සංකේතයකි. ඈ සිතන අයුරින් ඇය මෙලොව සොඳුරුතම මනාලිය වන්නේ දකුණු පසින් ඔහු සිටියා නම් පමණි. එහෙත් සැබැවින් ඇයට එහි ඔහු හමු නොවේ.
හමාර බණවර නමින් කවිපොතක් එළිදක්වමින් කාව්‍යයකරණයට පිවිසි ඉරේෂා හේමමාලි නම් නූතන කිවිඳිය පිළිබඳව විමසුම් ඇස හෙළීමේදී ඇය ඇයටම ආවේණීක අපූර්ව කවි බසක් ඔස්සේ නිර්මාණකරණයේ නියැලෙන කිවිඳියක් බව ගම්‍ය වේ.
පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගේ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර
උඹේ කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බරනම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත උඹේ
"හමාර බණවර" යනු හුදෙක්ම බෞද්ධ සංස්කෘතියට ඉතාමත් හුරුපුරුදු වචනයකි. කිවිඳිය කවියට උපයුක්ත කොට ඇති මාතෘකාවද සැබවින්ම අපූරුය. මෙම කවිය ඔස්සෙ කිවිඳිය උත්සාහ කරන්නේ පියෙකුගේ අවසාන මොහොත හා පීත ගුණ සමුදායයි. මෙකව පාඨකයාට සැබවින්ම සමීප වන්නේද එනිසා බව කිව යුතුය. කිවිඳිය විසින් පියෙකුගේ ඇති මහඟු ගුණ සමුදාය පිළිබඳව උද්දීපනය කිරීමට තැත් කරයි. පිය ගුණ පිළිබඳව සිදු කොට ඇති නිර්මාණයන් බොහෝ වූවත් මෙය සුවිශේෂ වන්නේ අනික් නිර්මාණයන්හි නොමැති අපූර්වත්වයක් මෙම අත්දැකීමේ පවා ඇති බැවිනි. පියා යළි නොඑන බව දැන දැන ඔහු සමඟ පෙරගමන් යාම කෙතරම් අසීරු අවස්ථාවක් දැයි එය අත්විඳි සියළු දෙනා දනී. කිවිඳිය කවිය තුළට අනුභූතිය කරගන්නේ පියකු මිය ගොස් අවසන් කටයුතු හමාර කොට දේහය පිටිය වෙත රැගෙන යන මෙකී සාම්ප්‍රදායික චාරිත්‍ර විධිය යි. තම පුතාගේ කර උඩ යන මියගිය තාත්තා කතා කරවන ඉන්ද්‍රජාලික සාහිත්‍යයට අයත් නිර්මාණයක් සේ මෙය දැක්විය හැකිය. මුළු පවුලේම බර තම කර මතින් තබා ගන්නා වූ පියා යනු සැබවින්ම අමිල වස්තුවකි. පියෙකුගේ අඩුව පවුලකට දරාගත නොහැක්කකි. පියා තමා වැඩට ආ ගිය සුපුරුදු මඟ තොටේ අද යන්නේ නොඑන ගමනකි. දරුවෙකු එය කෙසේ නම් දරාගන්නද? කිවිඳියගේ නිර්මාණය ඔස්සේ මෙකී මියගිය පියා යථාව අවබෝධ කරගත් පියෙකු වශයෙන් දක්වයි. එසේම මෙකව ඔස්සේ ඇය පියෙකුගේ පරමාදර්ශී කිසිත් බලාපොරොත්තු නොවන ජීවිතයේ එක් ප්‍රධාන පැතිකඩක් පිළිබඳව දක්වයි. මෙහි "හුඟක් බරනම් බිමින් තියපං" යනුවෙන් තාත්තා ඉල්ලා සිටින අයුරු ඉතාමත් සජීවීය. කිවිදිය මුල් කවි පෙළින් පියාගේ ගුණ සමුදාය පිළිබඳව සේම, දෙවනුව තරමක් දාර්ශනික මානයකට යොමු වේ. බුදු දහමේ අනිත්‍ය සංකල්පයේ පැතිකඩක් ඇය කියන්නට උත්සාහ කරනවා වැනි හැඟීමක් මට පෙනේ. සියල්ලන්ටම මරණය පොදුය. එම ධර්මතාව අසීරුවෙන් හෝ වටහා ගැනීම අගනා බව ඇය ප්‍රතීයමාන කරයි.
අද්‍යතන සිංහල කාව්‍යය ක්ෂේත්‍රයේ නිමග්න වී ඇති නූතන කිවිඳියන් උක්ත දැක්වූ අයුරින් ප්‍රමාණාත්මකව ඉතා ඉහළය. ඔවුන් අතුරින් කිහිපදෙනෙකුගේ මාහැඟි විශිෂ්ට නිර්මාණයන් පිළිබඳව මෙලෙස විමසුමට ලක් කළෙමි.
.jpeg)
No comments:
Post a Comment