කාර්මික විප්ලවය හා ප්‍රංශ විප්ලවය වැනි සිදුවීම් ඔස්සේ සාහිත්‍ය කලා ශානරයන් පිළිබඳව විවිධ අර්ථකථන බිහිවීමට මූලික බලපෑමක් සිදු කළේය. ලෝකයේ විවිධාකාර වූ කාව්‍ය ශානර අතුරින් කෙටිකවිය සම්බන්ධයෙන් විවිධාකාරයේ අත්දැකීම් පැවතියද ජපන් හයිකු කවියා ලෝකය හඳුනාගැනීමත් සමඟ කවියා හයිකුමය තාක්ෂණයෙන් කෙටි කවි රචනා කිරීමට පෙළඹිණි. (සිරිසුධම්ම හිමි, 2019,311) අද්‍යතන සිංහල කෙටිකවි පිළිබඳව විමසීමේදි බොහෝ කවීන් මේ ආකෘතිය ඔස්සේ තම නිර්මාණ සිදුකරන බව පෙනේ.
මෙහිදී ආරියවංශ රණවීරයන් විසින් ඉමක් සහ මලක් කෘතියේ පළ කරන ලද කෙටිකවියක් විමසා බැලීමට කැමැත්තෙමි.
සසර
මලක
මෙලෙක මත
නිල මැස්සෙක්
මල් ශාලාවක
මෙය සංකල්ප රූප දනවන්නා වූ කවියකි. මල් ශාලාවක තබා තිබෙන්නා වූ මල්වඩමක වැසූ නිලමැස්සෙක් පිළිබඳව මෙහි වාච්‍යාර්ථය දැනවූවද මෙය විවිධාකාරයෙන් අර්ථකථනය කළ හැකි කවියකි. මෙහි තේමාව ඔස්සේම සසර පිළිබඳව සිදු කරන ගැඹුරු සත්‍යක් මෙමඟින් ගම්‍ය වන බව හැඟේ. නොයෙක් ආටෝපයන්ගෙන් සරසා ගන්නා අප ජීවිතය අවසානයේ ළං වන්නේ මරණය වෙතයි. මෙහි මල ඔස්සේ අප ජීවිතයද, නිලමැස්සා මඟින් අප ජීවිතය කරා එළඹෙන මරණයද සංකේතවත් කරයි. එසේම මලක් යනුවෙන් මෙහි සංකේතවත් කරන්නේ ස්ත්‍රියක්ද විය හැකිය. සාහිත්‍යයේ බොහෝ තැන් වල ස්ත්‍රිය හඳුන්වන්නේ මලක් යනුවෙනි, මලක මෙලෙක ලෙස ඇය සතු රූපශ්‍රීය, ගුණවත්කම, ළතෙත්බව ආදිය දක්වයි. එසේම මෙහි තේමාව 'සසර' ලෙසින් දක්වා ඇති නිසා මෙය සැබවින්ම සසරෙහි ස්වාභාවය ගෙනහැර පෑමට නිමැවුණු නිර්මාණයක් ලෙසින්ද දැක්වුව මනාය.
එසේම ඉසුරු චාමර සෝමවීර කවියාද කෙටිකවි ලිවීමෙහි බුහුටිකම් දක්වන්නෙකු ලෙසින් දැක්විය හැකිය.
ඡායාව
හබලෙන් ගසා
සිඳබිඳ දමා
ගඟ දිය තලය
මත ඇඳි සොඳුරු
වන ඡායාව
පැද යමි ඔරුව
යා යුතු බැවින්
මේ දිගු ගමන
ජීවිතය දිගු ගමනකි. අප ජීවත් වන්නා වූ කාලසීමාවේදී අපට නොයෙක් බැඳීම් හමුවේ. ඒ අතර ස්ත්‍රී පුරුෂ ප්‍රේමයද අපූර්ව බැඳීමකි. ජීවිතයේ යම් යම් අවස්ථාවලදී එකී බැඳීම් වලින් වියුක්තව තනිව ඉදිරියට යාමට සිදුවේ. නමුත් ඔවුන්ගේ මතක සදාකාලික රිදුමකි. එම මතකයහි ගිලෙමින් තම ජීවිතයෙන් පසුබසිනවා විනා ඒවායින් පන්නරය ලබමින් ඉදිරියට යා යුතුයි. මෙකව ඔස්සේද විද්‍යමාන වන්නේ එවැනි අර්ථයක් බව මාහැඟි කරුණකි. අමතක කළ නොහැකි ඡායාවන් කොතෙක් තිබුනද ජීවිතය නම් ගඟේ ගිලී මිය යා නොහැක. එබැවින් හබලෙන් ගසා එකී ඡායාව බිඳ දමමින් මේ දිගු ගමන යා යුතුය.
කවියක අර්ථ ව්‍යූහ ලිහා බැලීමෙන් ප්‍රකාශ වන ක්ෂණික අන්තර්දෘශ්ටිමය මානයන් පාඨකයාගේ ඇතුළාන්තයට කතා කොට හදවත ස්පර්ෂ කිරීමෙහි සමත්කම් දක්වයි. නූතන කවි කෙත සරුසාර කිරීමට උත්සුක වූ ලක්ෂාන්ත අතුකෝරළගේ කෙටි කවි අතර වන විශිෂ්ට කවියක් මේ සඳහා නිදසුන් කොට ගැනීමට කැමැත්තෙමි.
වැඩ ඇරී
වැඩට යති
ගැහැනු
බොහෝ පවුල් සංස්ථාවන්හි ස්ත්‍රියට පොදු වූ ජීවන චක්‍රය මෙකී වචන පහ තුළ ගැබ්ව පවතී. පාඨක මනසෙහි ස්ත්‍රිය පිළිබඳව මහත් සානුකම්පාවක් ඇති කිරීමටය මෙය සමත් වේ. වත්මන් සමාජ ක්‍රමය ඔස්සේ සිදුවී ඇත්තේ කාන්තාවටද රැකියාවන්හි නිරත වීමටය. රැකියාවට ගොස් නිවසට එන ස්ත්‍රියට යළිත් සිදුවන්නේ රැකියාවක නිරතවෙනවා සේම නිවසෙහි වැඩපළ සිදුකිරීමටය. අවාසනාවට කරුණ නම් පවුල් සංස්ථාව තුළ කුමන කාර්යයභාරයක් ඉටු කළද පුරුෂ පාර්ශවයෙන් එයට නිසි ඇගයීමක් නොලැබීමයි. ගෙදර දොර කටයුතු සිදු කිරීම, දරුවන් හදාවඩා ගැනීම, ඔවුන්ව පෝෂණය කිරීම සංස්කෘතිය විසින්ම ඇයට උරුම කර දී ඇති කාර්යයන් සේ සැලකෙයි. මේ කවියේ දක්වන්නේ වැඩ ඇරී වැඩට යන ගැහැනියක පිළිබඳවය. ස්ත්‍රීන් ජීවිත කාලයම සිදුකරන්නේ වැඩ ඇරී වැඩට යෑමේ ක්‍රියාවලියයි. මෙම කවිය රැකියාවට ගොස් නිවසට විත් කිසිදු කාර්යයකට නිරත නොවන පිරිමින්ට නැවත වරක් තමන් පිළිබඳව සිතීමට පෙළඹවන තියුණු අන්තර්දෘශ්ටියක් සහිත කවියක් සේ ද දැක්විය හැකිය.

No comments:
Post a Comment