.....

අද්‍යතන සිංහල කවි විමර්ශනය

අද්‍යතන සිංහල කවි විමර්ශනය 

නිදහස් කවියෙහි ද්විතීය යුගය හෙවත් වර්තමානයේ ලියවෙන කවි පිළිබඳව විචාරක්ෂිය යොමු කිරීමේදී මහගමසේකරයන් අනුදත් මගෙහි ආභාසය ලබමින් බොහෝ කවි කිවිඳියන් රැසක් කාව්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේෂ වන බව පෙනේ. කවියක වැදගත් වන්නේ ආකෘතිය නොව අනුභූතිය යන මතය පෙරට ඒමත් සමඟ ඒ ඒ අත්දැකීම්ට උචිත ආකෘතීන් පරිහරණය කිරීමේ නිදහස නූතන කවියා අත් කර ගනී. අද්‍යතන සිංහල කවිය පිළිබඳ විමර්ශන කිරීමේදී වර්ෂ 2000 සිට මේ දක්වා නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, එරික් ඉලයප්පාරච්චි හා මොනිකා රුවන් පතිරණ, රත්නශ්‍රී විජේසිංහ, ලාල් හෑගොඩ, පරාක්‍රම කොඩිතුවක්කු ආදී ජ්‍යෙෂ්ඨ මෙන්ම විශිෂ්ටයන් අත තිබූ නූතන කවි කිරුළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ලක්ශාන්ත අතුකෝරල, මංජුල වෙඩිවර්ධන, ටිම්රාන් කීර්තී, අනිල් නිශාන්ත ලොකුගමරාල, නිරාශ ගුණසේකර, රුවන් බන්ධුජීව, ඉසුරු චාමර සෝමවීර,සුනන්ද කරුණාරත්න, කපිල එම්. ගමගේ, නඳුන් යසිත දසනායක, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, නුවන් තොටවත්ත, චූලානන්ද සමරනායක ආදී නූතන කවීන් සේම විපුලි හෙට්ටිආරච්චි, සජීවනි කස්තුරි ආරච්චි, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, සුහර්ෂණී ධර්මරත්න, සුරේකා සමරසේන, අනුරාධා නිල්මිණි, තනූජා ලුම්බිණි, තක්ශිලා ස්වර්ණමාලී ආදී කිවිඳියන් අතට ගොස් ඇති බව පෙනේ. 

එරික් ඉලයප්පාරච්චි ආදී කවීන් කවියේ නවමු මානයන් ස්පර්ශණයට සමත්කම් දැක්වූවන් ලෙසින් දැක්වුව මනාය. ඔහුගේ පියස්සක් නැති පරවියෙක් නම් කාව්‍ය සංග්‍රහයේ එන යෙහෙළියන් දෙදෙනා නම් නිර්මාණය ඔස්සේ තරුණියන් දෙදෙනෙකු අතර සමීප සම්බන්ධතාවක නව ඉසව්වක් වෙත අප භාෂාව දිගු කරන්නකි. ඒ ඔස්සේ මිනිස් සබඳතාවල නව මානය අපට ළං විය හැක්කක් බවට පත් කරයි.

යෙහෙළියන් ලෙස සවස ගත කර 
බිඟුන් සේ සිප වැළඳ වෙන් වෙති

නිශා පවුරින් දුරස් වූ කල
උනුන් උණුසුම සිතින් සමරති

උදෑසන උන් නැවත හමුවෙති
දුරදි දුටු සඳ වහා දිව එති

එවැනි සිවුමැලි පෙමක මහිමය
කියත හැකි කවි තවම නොලියති

මෙමඟින් තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවී ඇති ආදරය හෝ මිත්‍රත්වය යන කුමක් හෝ ඉතා සමීප සබඳතාවක් විශද කරයි. එය කුමක් වූවත් අපට අසම්මත යැයි එය නිර්දය ලෙස පිළිකුල් කළ නොහැක. මෙහිදී "බිඟුන් සේ සිප වැළඳ වෙන් වෙති" යන පද්‍ය පාද ඔස්සේ රූපකයක් දක්වයි. සිවුමැලි ප්‍රේමය පිළිබඳ තවමත් කවි නොලියන බව දක්වන කතුවරයාද සිදුකොට ඇත්තේ එකී ප්‍රේමයම පිළිබඳ කවියක් ලිවීමකි. මෙහිදී කවියා මෙම සබඳතාව ප්‍රේමයක් හෝ මිත්‍රත්වයක් යන කෝණයකට ගොනු කිරීමට පෙළඹෙන්නේ නැත. එය පාඨකයාට සිතන්නට ඉඩ හරී. 

2006 වර්ෂයේ අමාවකේ සඳක් සිඹිමි නම් කාව්‍ය සංග්‍රය ඔස්සේ කාව්‍යකරණයට පිවිසි ලක්ෂාන්ත අතුකෝරලයන් ගොඩගේ, රජත පුස්තක ආදියෙන් අබිසෙස් ලැබූවෙකි. මොහුගේ කාව්‍ය නිර්මාණ මෙහිදී විමසා බැලීම වටී. මොහු අප්‍රකට වචන, නව වචන සේම සන්ධි කිරීමෙන් ප්‍රණීත නව යෙදුම් තම නිර්මාණයන්ට උපයුක්ත කරන බැවින් මොහුගේ කවි බස ප්‍රතිභාපූර්ණ බව දැක්වුව මනාය. 

මල් ලැදි තැනට මල් පූජා වේද මලේ

"හොරෙන් හිනැහී බලන
මලක් දෙමලක් තිබෙයි
මළ ගෙයක දෙණ අසල
දකිමි මම හඬා වැටෙනා මලක්
සුබ පැතුම් මල් පැසක''

මෙය මනා ඉසියුම් ගුණයකින් යුත් කවියකි. මනා යටි අරුතකින් අනූන මෙකවිය මඟින් පාඨකයාට අපූරු ජීවිතාවබෝධයක් ලබා ගත හැකිය. එමතු නොව මොහුගේ පිය මනින විට වන පෙතක ආයෙත් යන කවි නිර්මාණයද එසේය.

යමි ඔබ හා ළවන පෙතේ ළපෙන් තීර දිග
කවදා හෝ එදෙස එසේ නොගිය අයෙකු ලෙස
හුස්ම සුවඳ සුළඟේ සුළි තබා කැකුළු මත
කිලිපෙළුමෙන් ගැස්සෙමි මුල් වර ආවෙකු මෙන

කවියා මෙහි උපමා භාවිතයෙන්, තම රහසක් කොඳුරන ආරෙන් තම නිර්මාණය ගෙන හැර දක්වයි. කවියා භාවිත කරන භාෂාව ඔස්සේ, මේ රහස තුලින් වරදකාරි හැඟුමක ට වඩා, ඔහු ට ද, පාලනය කල නොහැකි අත්දැකීමක්, තම අතීතය වසන් කරන සේයාවකින් කවියට පෙරළා ඇත.



No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..