.....

පොඩිනෝ නාට්‍ය පිටපත

පළමු ජවනිකාව
 
තරුණ පිරිපුන කාන්තාවක් වේදිකාවට පැමිණේ. ඇය වේදිකාවේ ඉදිරියට ගමන් කරයි. ඇයව පසුපසින් බයිසිකලයකින් පිරිමියෙකු පැමිණේ. 

පොඩිනා: උන්නැහේ කොටහළු මඟුල් ගෙදරින්ද?
( තරුණයා ඔහු පුදුම වුණු සෙයක් පෙන්වා හිස වැණුවේය)

පොඩිනා: අපේ අම්මට මැලේරියාව හැදිලා. පොරොන්දුව මඟාරින්න බැරි කමට මට යන්න ය කිව්වා

තරුණයා : එහෙනම් යමු අපිට තව බෝ දුරක් යන්න තියෙනවා.

(තරුණයා කෑදර කමින් පොඩිනා දෙස බලයි.
මඟක් දුරට ගොස් ඔහු කටහඬ අවදි කළේය)

තරුණයා : මේ තරම් බයිසිකලයක් තියාගෙන පයින් යන්න ඕනයැ. මේකේ යමු

පොඩිනා: අනේ අප්පේ මට බෑ. මට පයින් යතෑකි. උන්නැහේ යන්න ඕකේ. කවුරුහරි දැක්කොත් හොඳට හිටීවි. කතන්දරේකුත් හදාවි රදා බවලතෙක් බයිසිකල් කරත්තේ ඉන්දවාගෙන ගියා කියලා.

තරුණයා: භය වෙන්ට කාරි නෑ. නගින්න. පයින් ගියොත් හෙට එළිවෙයි.

පොඩිනා: (කොමළ ලෙස සිනාවෙමින්) අනේ උන්නැහේ මිනිස්සුත් එනවා ඇති මේ පාරේ. උන්නැහැ ඕක පදින වේගෙන් මං පයින් දුවන්නං.

තරුණයා: නෑ නෑ නගින්ට
(ඇය සිනාමුසුව බයිසිකලයට නගී)
තරුණයා: 
දඟලන මුහුද මැද යන රන් නැවක වැනි
කුමරා තුරඟ සිට මඳ මඳ ඉහළ පනි
දඟ සුග පෙනෙයි හැඳි සළුපොට විහිද තුනී
අලුයම සුළඟ එහි සුසිනිඳු ගතිය දනි

පොඩිනා: කොහොමද උන්නැහේ අර තරම් ලස්සන කවි බඳින්න ඉගෙන ගත්තෙ?

තරුණයා: නඟාගේ ලස්සන දැක්කම මට නිකම් මතක් උනා

(පොඩිනා කොමළ ලෙසින් සිනාසේ. තරුණයා බයිසිකල් හැඩලය මත තිබූ පොඩිනාගේ අත අල්ල ගනී)

තරුණයා: (පොඩිනාගේ කනට ළංවී) නංගා තව ඩිංගිත්තක් උඩහට යද්ද තියෙනවා හරි අපූරු ගල් තලාවක්. මේ වෙලාවේ මොණරු එක සුමේ එතනට එනවා පෙම් කොරන්ට. මනුස්ස නාමයක් නම් එන්නෑ ඒ හරියට. මං මනාපයි නඟා එක්ක නිස්කලාංසුවේ එතැනට ගොහින් ඩිංගිත්තක් ඉඳලා යන්න.

පොඩිනා: අනේ උන්නැහේ... ඔය කිව්වට කවුරුවත් ආවොත්?

තරුණයා: (සතුටු ස්වරයෙන්) නෑ නෑ මං දන්නවනෙ කවුරුත්ම එන්නෑ.

(පිටුපසින් බෙර හඬක් ඇසේ)

දෙවන ජවනිකාව 

( ගල්තලාවක් ලෙස සැකසූ වේදිකාවේ කෙළවර තරුණයාගේ පපුව මත හිස ඇල කර ගත් පොඩිනා සිටී )

පොඩිනා : ( ඉතාමත් දුක්මුසු ස්වරයෙන්) මට දැන් කියන්න තියෙන්නේ මගේ හැම ලේ බිංදුවකම ඉන්නේ උන්නැහේ විතරයි. මට දැන් සේරම නැති වෙලා ඉවරයි. ඒක මගෙත් කැමැත්තෙන් වුණු දෙයක්. උන්නැහෙගේ මූණ දැක්කාම මට බෑ කියන්ට බැරි වුනා.මොකක්ද උන්නැහේගෙ නම?

තරුණයා : අනගිහාමි

පොඩිනා : මං කැමති ඉතුරු ටිකත් උන්නැහේ එක්ක හිනා වෙවී යන්ට. ඒත් මං දන්නවා අද රෑට මට අඬන්න වෙනවා. ඒකට කමක් නෑ අනගිහාමි උන්නැහේ, මට කියන්න බෑ අනේ මාව තියා ගන්න කියලා. අපි පෑහෙන්නෑ නොවැ. මං රඳා. උන්නැහේ ගොයිගම. ඒකට කාරි නෑ.. අද ඉදන් මගෙ හදවතේ පුරාම ඉන්නේ උන්නැහේ විතරයි.

අනගිහාමි : (නෝක්කාඩු ස්වරයෙන්) හාහ්.. හාහ්.. නනරකොරපල්ලා දැන් ඔය කියවිල්ල. දැන් ගෙවල්වලට ළඟයි. බයිසිකලේ යන එක හොඳ නෑ. අපි පයින් යමන්.

තුන්වන ජවනිකාව

වේදිකාව මත ගැමි පරිසරයක් සකසා ඇත.
පොඩිනා නැවත වේදිකාවට පැමිණේ.

ඇය රෙදි සෝදමින් සිටිනා බවක් නිරූපණය කරයි. ඇය තරමක් කල්පනා බරව සිටී. ඊට මදක් එහායින් මැදිවියැති නෝන්ජල් පෙනුමැති පිරිමියෙකු ඔයට ගල් ගසමින් විනෝදයෙන් සිටින දෙයක් නිරූපණය කරයි. මදක් ඔහු දෙස බලා සිටි පොඩිනා අත්පුඩියක් ගසා ඔහුට අඬගසයි.

පොඩිනා: නම්බු අයියේ, නම්බු අයියේ අනේ ඩිංගිත්තකට මෙහෙ වරෙංකො නම්බු අයියේ. 

(පිරිමියා ඉතාමත් ලැජ්ජාවෙන් යුතුව කාන්තාව අසලට පැමිණේ. පොඩිනා කෝළම් කරමින් ඔහු හා කතා කරයි)

පොඩිනා: අනේ නම්බු අයියේ, බලාපන්කො මේ රෙදි ගොඩ. මෙච්චර රෙදි කන්දරාවක් මට තනියෙන් හෝදගන්ඩත් අමාරුයි. ඔයට ගල් ගගහ ඉන්න වෙලාවේ. අනේ මට ඩිංගිත්තක් උදව් කරහන්කෝ. 

නම්බු හේන: අනේ නංගියේ මම කොහොමද බොට උදව් කරන්නෙ?

පොඩිනා: මං රෙදි ටික හෝද හෝද දෙන්නම්. උබට පුළුවන්නම් මිරික මිරික ගල උඩින් තියාපං. අද අම්මත් ගෙදර නෑ. කොටහළුවකට ගොහින් ගලහිටියාවේ. අනේ උඹට පුළුවන් නේද අයියේ. සුනංඟුවක් නෑනේ. 

නම්බු හේන: පුළුවන්
(නම්බු හේනයා සතුටින් ඉපිල ගිය සෙයක් පෙන්නයි. ඔවුන් දෙදෙනා රෙදි සෝදමින් සිටී. පොඩිනා තම දිගු කෙස්වැටිය ගලවා නැවත වරක් බැඳ ගනී. නම්බු හේනයා හොරෙන් ඒ දෙස බලයි)

පොඩිනා: (තරමක් හයියෙන්)
න්ම්බු අයියණ්ඩියේ.. අනේ මේ බලාපන්කෝ මයෙ අත කලාදුරුවෙක් කෑවා. ඌයි.. මෙතන පලුවකුත් දාලා. අනේ මේ බලාපන්කො ඩිංගිත්තක්.

නම්බු හේන: බෙරිහන් දෙන්න ඕනයැ ඕකට රතුළූණු ගෙඩියක් කපල ඇතිල්ලුවනම් ඉවරයිනෙ. 
(ඔහු ගණනකට නොගන්නා සෙයක් පෙන්වා දිගටම රෙදි මිරිකයි. ඔහු දෙස බලමින් පොඩිනා නැවත කල්පනා කරයි.)

පොඩිනා: තමාටම- වෙන හරිහමන් ඉලංදාරියෙකුට පෙන්නුවනම් රිදෙනවද මයෙ වස්තුවේ කියල අහල අතත් අල්ලයි. ඒකට මේකා. ගාණකටවත් නොගත්ත හැටි. මේ බඩේ ඉන්න එකාට අප්පොච්චි කෙනෙක් ඉන්ඩම එපැයි. මූව කොහොම හරි අල්ල ගන්ඩ ඕනෑ. හිටපන්කො මම හොඳ වැඩක් කරන්න.

පොඩිනා: (හඬනගා) අයියේ.. උඹ් මේ රෙදි කන්ද හෝදන්ඩ උදව් කළාවගේ මට තවත් ලොකු උදව්වක් කරන්න ඕනෑ..

නම්බු හේන: ඒ මොකද්ද නංගියේ?

පොඩිනා: (තරමක් පහත් ස්වරයෙන්) මගෙ සරීරේ උඹට පෙන්නන්න අමාරු තැනක තියෙනවා මොකද්දෝ මහ රිදුමක්. කිව්වට මොකද මේං මෙතන..

(ඇය තම් හැට්ටය තරමක් පහත් කොට ඔහුට ඇයගේ පපුව පෙන්නයි)
මට හිතෙනව කවුරු හරි ඒක පොඩි කළා න๬ හරියයි කියල. උඹ ඉතිං හරි අහිංසක හිත හොඳ එකා හිංදයි මං මේක උඹට කිව්වේ. උඹ මේ බවක් කාටවත්ම කියන්ඩ එපා නම්බු අයියේ අනේ උඹට පිං සිද්ධ වෙයි. 

නම්බු හේන: (බියමුසු ස්වරයෙන්) මගෙ බුදු අප්පොච්චියේ. ඒක කොහොමද පොඩිනා නංගියෙ මං කොරන්නෙ.. මේ බලාපං මාව තවම ගැහෙනවා. ඔව්වා අතපත ගාන්නේ කොහොමෙයි මං? 

පොඩිනා: බය වෙන්ට කාරියක් නෑ රත්තරං අයියේ. ඔව් ඔය පහලට බැහැලා ආං අර පේන තල්ගස් ගොල්ලෙට ගියා නං උඹවයි මාවයි යකෙකුටවත් පෙනෙන්නෙ නෑ. මේ කාරණාව දන්නෙ උඹයි මායි විතරයි නේ රත්තරනේ. අනේ උඹට පිං සිද්ධ වෙයි. මේ උපකාරේ කරල දීපං මට. උඹ දන්නවනෙ මගෙ අයියේ වේදනාවෙන් ඉන්න කෙනෙකුට උදව් කරන එක මහා පුණ්‍ය කර්මයක්ය කියලා. උඹට යම් ලැජ්ජාවක් තියේනම් ඒකටත් මම ක්‍රමේ කියලා දෙන්නම්කො තල ගාලෙදි

(ඔවුන් දෙදෙනා වේදිකාවේ පසකට ගමන් කරයි. නම්බු හේනයා තරමක් තැතිගත් ස්වරූපයකින් පොඩිනා පිටුපසින් ගමන් කරයි)

පොඩිනා: මුල් හරියෙදි ලැජ්ජ නම් උඹ ඇස් පියා ගනින් අයියේ. ටිකකින් මං කිව්වගම හීන් සීරුවෙ ඇස් ඇරහං. එච්චරයි.
( නම්බු හේබටා හිමින් සීරුවේ පොඩිනාගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරයි. ඒත් සමඟම තම කෙස් වැටියද කඩා ගනිමින් එය අවුල් කරගන්නා පොඩිනා ඉතා කලබලයෙන් තම හැට්ටයේ බොත්තම් කීපයක් ඇර නම්බු හේනයාව තද කරගනී)

පොඩිනා: (විලාප දෙමින්)
බුදු අම්මො බුදු අම්මෝ.. මාව බේරගනියෝ.. මාව බේරගනියෝ.. ඇයි උඹ මට මේ වගේ දෙයක් කොළේ..?

(පොඩිනා නම්බු හේනයා තල්ලු කරමින් අතින් ඔහුට පහර දෙයි)
කියපිය ගෙරි මූසලයෝ.. තෝ මොකද්ද මට මේ කොළේ..? බලාපිට මට දැන් බයේ බෑ. කොහොමද ගෙදර යන්නෙ? අම්මගෙ මූණ බලන්නෙ?

නම්බු හේන: (ඉතා බියමුසු ස්වරයෙන්, වෙව්ලමින්) මොනවා උණාද කියලවත් මට තේරුමක් නෑ නංගියේ. මගෙ මුළු සර්වාංගෙම පණ නෑ. මං මැරෙයි කියල මට බයයි නංගියේ. මගෙ ඔළුවත් කැරකෙනවා වගෙයි. ඇස් දෙකත් නිලංකාර වුණා. මොකද්ද ඒ වුණේ? උබ මාව තද කරගෙන මට තඩිබෑවා විතරයි මට මතක. මගෙ මුළු ඇඟම ඇදුං දෙනවා. අම්මපල්ල බං මට දැං ඕනි පල්ලෙකුඹුරෙ පැලට වෙලා ටිකක් නිස්කාංසුවේ ඉන්න.
(පොඩිනා තැතිගත් සෙයින්)

පොඩිනා: හහ්.. නිස්කාංසුවේ ඉන්න..! යස පුරුදු කාරයෙක් වගේ කාරිය කොරල දැන් බොට ඕන නිස්කාන්සුවේ ඉන්නද? උඹ මට මේ කරපු දේ මම මුළු ගමටම කියනවා. මම දැක්කනෙ බොගෙ මූණේ මදන ගතිය. බෝ මාව රැවැට්ටුවා. පව්කාරයා.

නම්බු හේන: (ඉතා කලබලයෙන්) අනේ දෙයි හාමුදුරුවනේ.. උඹ මොනවද පොඩිනා නංගියේ මේ කියවන්නේ.. උඹ මරු කියවනවද? මං කොහෙද උඹ රවට්ටගත්තේ.. අනේ දෙවි කෙනෙක්වත් නැද්ද මට මේ වෙන්න යන නස්පැත්තිය බලන්න..
(ඔහු අහසට කන්නලව් කරමින්)

පොඩිනා: උඹ බලා හිටහං දෙයියෝ ඇවිත් උඹ දිහා බලනකං. ඊට කලින් මං මුළු ගමටමයි, උබේ මහලොකු අක්කටයි සේරෝටම කියනව උඹ කරපු කුණුහරපු වැඩේ.. වලත්තයා..

නම්බු හේන: අනේ රත්තරන් වඳින්නම් අපේ අක්කට එහෙම කියන්න එපා. ඒකි මාව මරයි. මං උබේ කකුල් අල්ලලා වඳින්නං. හැමදාම වුණත් රෙදි හෝදල දෙන්නං. අනේ මට කරදරයක් වෙන්න තියන්න එපා රත්තරන් නංගියේ. 
(නම්බු හේනයා බිම දිගාවී පොඩිනාට දෑත් උස්සා වඳී. පොඩිනා ඔහු දෙස සිනාසෙමින් උපහාසාත්මක ලෙස බලා සිටී)

සිව්වන ජවනිකාව
(වේදිකාව මතට අවුරුදු 7ක පමණ කුඩා පිරිමි දරුවකු කැටපෝලයක් අතැතිව හති දමමින් පැමිණේ)

බබාහේන: තාත්තේ තාත්තේ.. මෙන්න මෙතන අතු අස්සේ පේනවා උකුස්සා උකුස්සා.. පොඩි එවුන්ගෙ කූඩුව කඩල්ලනවා.. අර.. අර.. 

(දරුවා කලබලයෙන් කෑ ගසයි. එතනට නම්බු හේනයා පැමිණේ. ඔහු කැටපෝලයට ගලක් දමා හැකි තරම් වැර යොදා ඇද අත අරී)

නම්බු හේන: කොළහටම විදින්න අමාරුයි බං කෑගහමු. චෝයි චෝයි...
(දෙදෙනාම හයියෙන් කෑ ගසයි)

නම්බු හේන: බබා හේනයෝ, කෝ මෙහෙ වරෙං. මට බෝව වඩා ගන්ඩ ඕන. 

( ඔහු වැර යොදා බබාහේනයාව කිහිල්ලට වඩාගනී)

(තරමක් වයසක කාන්තාවක් වේදිකාවට පිවිසේ)

රම්බරී: ආ.. ආ.. මොකද බොල මේ නාකි හුරතල්..

නම්බු හේන: ආ රම්බරී නැන්දමනේ. මං උඹ ළගට එනකල් දැක්කෙ නෑ නොවැ. 

රම්බරී: දකින්නෙ කොහෙද? තාත්තල පුතාල මහ සෙනෙහෙබර කතාවක නොවැ සිටියේ.

(නම්බුහේන දත් පෙන්නා සිනාසුණේය)

රම්බරී: ඉද්දකින් ඉතරක්.. අනේ බෑණෝ.. උඹගෙ ඔය බොල්ලෑ දත් වහල්ල දකිද්දි මට මං ඌරු ජුවල් බොල..! ඒ මදිවට කළුම කළු ඔආටට විට කහට. ඉදල හිටලවත් මැදපියකො පොල්ලෙල්ලක් තළාගෙන. ඉද්දකින් ඉතරක්.. හොහ් හොහ් ( ඇය අපුලෙන් කෙළ ගසයි) 
කෝ උඹගෙ ගෑණි?

නම්බු හේනයා: (දුක්මුසු ස්වරයෙන්) කුස්සිය පැත්තේ හිටියේ.

(පොඩිනා රම්බරී දෙසට පැමිණේ)

රම්බරී: ඈ බොල බොණ්ඩියේ.. තෝ අහවල් එකටද අර හීං කෙල්ලට තැලුවෙ. ඔය කාලේ වරද බං. කොලුවෙක් එක්ක හාද උනා කියලා මේ පුක්කඩී ඌ එක්ක පැනල ගියේ නෑ නෙවෙ. උබ හැම එකටම ඒකිට තලල මේ වලත්ති පැටියෙකුත් එක්ක ගෙට එයි. 

පොඩිනා: (පහත් ස්වරයෙන්) ලොකු අම්මේ හිමීට කතා කරහං. හීං එකී කක්කුස්සිය පැත්තේ ඉන්නෙ. ඕවා ඇහුනොත් ඒකිට උල්පන්දම් දුන්න වෙනවා. 

රම්බරී: අනේ තෝ පැහෙන්නැතුව ඉදින්. ම්ම තොගේ පලහිලව්වෙදිත් කිව්ව නොවැ මොනයම්ම හරි හංගන දෙයක් ඇතුළාන්තයේ තියෙනව කියල. එව්ව මම කියන්නෙ ඉර්දි බලෙන් හෙම නොවෙයි. උඹලගේ ඇස්ගෙඩි දෙකෙන්. උඹේ රුවේ ලස්සන වගේම මහ සට කපට අම්මණ්ඩි කියල මම දන්නවා. උඹ එහෙම ලේසියෙන් දපනෙ දාගන්ම බැරි එකියක් විත්තිය මම හොඳාකාරවම දන්නවා. විසේසයෙම් නම්බු හේනයා වගේ නෝන්ජලයෙකුට.

(පොඩිනා මහත් කලබල වූ සෙයක් දිස්වේ) 
පොඩිනා: තමාටම- හීං එකීගේ පලහිලව් වලට තරවටු කොරන්ට ගිහිම් මගෙ පැටිකිරිය එළියට එයි වගේ. මේ ගෑණිට තියෙන්නෙ එසේ මෙසේ කටකුත් නෙවෙයිනෙ.
(හඬනගා) කට කට ලොකු අම්මේ. ඒ කතා දැන් පරණයි නෙවෙ.. දැන් මේ තකහනියෙ ආව කාරණේ කිව්වනම්

රම්බරී: මං මේ ආවේ බං ගොඩකවෙල කොටහළු මඟුලක් තියෙනවා. උඹලගෙ අම්මත් වන්දනාවේ ගිය එකේ උඹට ඒකට යන්න ඇහැක්ද අහන්න.

පොඩිනා: (මහත් කලබලයට පත්ව) තමාටම- දෙයියනේ ගොඩකවෙල නොවැ මගෙ වාහේ අනගිහාමිගෙ ගෙවලුත්. ඒ පැත්තෙ ගියා නම් මයෙ රත්තරංගෙ මූණ ඩිංගිත්තක් බලං එන්ට තිබුනා.. (මහත් සතුටින් හඬගා) 

හා ලොකු අම්මේ මං ගොහින් එන්නම්
රම්බරී: හෙට උදහනැක්කෙම පලයං. රෑ බෝ වෙන්ට කලිම් යා ගන්ට බැරිවේවි නැත්තම්


පස්වන ජවනිකාව

(පොඩිනා දරුවාද රැගෙන ගොඩකවෙල වෙත යයි. මඟ් දෙපස බලමින් දරුවා ද ඇය හා ගමන් කරයි)
පොඩිනා: මයෙ රත්තරන්ට යන්න පුලුවන්ද? මං උඹව වඩා ගන්නද?

බබාහේන: නෑ මට පුළුවන් අම්මේ.. තව හුඟක් දුරද? 
පොඩිනා: නෑ නෑ දැන් ළගයි මයෙ අම්මා. 
( වේදිකාවේ ඉදිරියේ සිට ගමන් කරන ඇය ගල් තලාවක් දකී. මහත් කලබලයට පත් වූ ඇය මඳක් නැවතී ඒ දෙස දුක්මුසුව බලා සිට නැවත් ඉදිරියට ගොස් වේදිකාවේ අනෙක් පස තිබූ නිවසක ආකෘතියක් ඉදිරියට ගොස් කෑගසයි)

පොඩිනා: ගෙදර කව්දෝ..? ගෙදර කව්දෝ..?

(කුඩා දරුවෙකු අතින් ගත් කාන්තාවක් ඉදිරියට පැමිණේ)

කාන්තාව: ඇයි? 
පොඩිනා: අනේ අපි මේ පාරක් හොයන ගමන්. අර සුගුණසාර කියල ඉස්කෝලෙ මහත්තයෙකුගේ ගෙදරට යන විදිය දන්නවද?

කාන්තාව: දෙයියනේ ඒ පැත්ත පහුකරගෙන ගොඩක් දුර ඇවිල්ලා.. (කාන්තාව උස් ස්වරයෙම් කෑ ගසයි) මහත්තයා.. මහත්තයා.. 

(නිවසේ ආකෘතියට තනා තිබූ දොරටුව තුළින් අනගිහාමි එළියට පැමිණේ)

පොඩිනා: (අනගිහාමිව දැක බිරාන්ත වූ ලෙසින්) තමාටම - දෙයියනේ මේ අනගිහාමි නේද? අවුරුදු අටකට පස්සෙ මේ දැක්කෙ. වෙනස් වෙලා තියෙන තරමක්. 

කාන්තාව: බලන්නකො මහත්තයා. මේ දෙන්නට යන්න ඕන සුගුණසාර මහත්තයගෙ ගෙදරට. ඒක පහුකරගෙන ඇවිල්ල නොවැ පුරාම දුරක්. ඩිංගිත්තක් පාර පෙන්නන්ට පුළුවන්ද මහත්තයට. මේ තනිපංගලමේ ගෑණු කෙනෙකුයි, දරුවෙකුයි නොවැ.

අනගිහාමි: (සතුටින්) හොඳමයි නෝනේ. මම ගොහින් පෙන්නන්නම්.
(තිදෙනාම වේදිකාවේ ඉදිරියට පැමිණේ. දරුවාට මඳක් ඉදිරියෙන් අනගිහාමි හා පොඩිනා ගමන් කරයි) 

අනගිහාමි:( දුක්මුසු ස්වරයෙන්) උබ මොන තරම් කාලෙකට පස්සෙද මේ..
(අනගිහාමි දෙස බැලූ පොඩිනා පිටුපසින් එන තම පුතා දෙස බලා ඔහු දෙසට හැරී) 

පොඩිනා: (හඬනගා) පුතේ ආං අර කැලෑ දෙල් ගහ යට දෙල් ඇට වැටිලද බලල ඔඩොක්කුවට අහුලපං. මං මේ උන්නැහේ එක්ක ඩිංගිත්තක් කතා කොරනකල්
( දරුවා වේදිකාවේ අනෙක් පසට ගමන් කරයි)

පොඩිනා: (කළකිරුණු ස්වරයෙන්) ඒ ඉන්නේ අපෙ පුතා. දන්නවද නම? බබාහේනයා. අර හිටියේ ගෙදර එක්කෙනාද? එක දරුවද තාම?

අනගිහාමි: ඒක අම්මලගෙ උවමනාවට කෙරුණු මඟුලක්. මම උබව දකිනකල් නොඉවසිල්ලෙන් ඉදියෙ.

පොඩිනා: මං යන්නං අනගිහාමි. කොටහළුවකට ආ ගමන්

අනගිහාමි: උඹට කියන්ට දේවල් අහස උසට. හම්බු වෙන්ට විදියක් කියපං

පොඩිනා: මං දන්නෑ උන්නැහේ. මං දැන් යන්නම්. 

(අනගිහාමි කල්පනා කරයි)
අනගිහාමි: හරියටම සුමානෙකින් අද වගේ දාක උදේ වරුවක වරෙං ගල්තලාව ගාවට.. හැබැයි තනියම

( වේදිකාවෙන් නැවතත් බෙර වාදනයක් ඇසේ)


සයවන ජවනිකාව

(පොඩිනා ගල් තලාව අසලට වී මග බලමින් කල්පනා කරමින් සිටී. එතනට ඉතාමත් උස මහත සිරුරැති කැළෑ සතෙකු මෙන් මිනිසකු පැමිණේ)

කැලෑ මිනිසා: අනගිහාමි උන්නැහේ කිව්ව උඹලව උන්නැහේ ඉන්න තැනට එක්කං එන්නය කියලා. 

පොඩිනා: (සැනසිලි සුසුමක් හෙළා) ඇයි අනගිහාමි උන්නැහේ මෙතනට නාවේ?

කැලෑ මිනිසා: උඹලට අමු කැවිලද උන්නැහේගේ මායියා විපරමින් ඉන්නේ. යමන් මං යන පාර දිගේ. උන්නැහේ මළ දොල ඉහත්තෑවේ බලාගෙන ඉන්නවා දැන් පැයක පටං

(කැලෑ රොඳක් සේ නිරූපණය කර ඇති වේදිකාවේ කොණකට ඇයව රැගෙන ඒ)

(පසුබිමින් ශෝකාකූල සංගීත නාදයක් වාදනය කරයි)
පොඩිනා: කෝ අනගිහාමි උන්නැහේ?
කැලෑ මිනිසා: තා ටිකක් ඉහත්තෑවේ
(ඔහු වියරු ලෙස සිනාසේ)

පොඩිනා: (ඉතා බියමුසු ස්වරයෙන්) මට ඇත්ත කියාපන්. කෝ අනගිහාමි උන්නැහේ? උන්නැහේ මෙච්චර දුර ඉන්ට උවමනාවක් නෑ.
(යළිත් කැලෑ මිනිසා වියරුවෙන් සිනාසී ඇස් ලොකු කරමින් වියරු ලෙස පොඩිනා දෙස බලයි. පොඩිනා වෙව්ලයි. කැලෑ මිනිසා පොඩිනාගේ ශරීරයට ළං වී ඇගේ බොටුවෙන් අල්ලා ගනී)

කැලෑ මිනිසා: තෝ දන්නවද බැල්ලී. මේ ගමේ උන් මට කියන්නේ නයිදේ කියලා. මං ගැන මඟක බවලතෙක් පේන තෙක් මානෙකවත් ඉන්නෑ බොල. අනගිහාමි උන්නැහේ තමයි කිව්වේ තෝ අද එන බව. මම උන්නැහේට බොහොම උදව් කරල තියෙනවා. තෝ උන්නැහේගෙ පස්සෙන් එන බව උන්නැහැගේ මායියා දැන ගත්තම උන්නැහේට මොකක්ද බැල්ලියේ වෙන්නේ? (කෑදර ලෙස) මං දැකපු අනෙක් බවලතුන්ට වඩා උඹ ලස්සනයි බොල. අනගිහාමි උන්නැහේ මට කිව්වා තිට ඕන දේ ඇති පදම් දීපිය කියලා. මම තනන්නේ තොගේ ඒ රුදාව අරින්න. 

(පොඩිනා අඬමින් දෑත් එක්කොට කැලෑ මිනිසාට වැන්දාය) 
(යළිත් පසුබිමින් දුක්මුසු සංගීත නාදයකි. කැලෑ මිනිසා පොඩිනාට පහර දෙමින් ඇය බිම පෙරළා ගත් සෙයක් දිස්වේ)

(පොඩිනා සොයමින් අනෙක් පසෙන් නම්බු හේන පැමිණේ. නිසලව බිම වැතිර උන් පොඩිනා දැක නම්බු හේන වියරුවෙන් මෙන් කෑ ගසයි. පිටුපසින් පිරිසක් පැමිණේ)

නම්බුහේන: (ඉතා හයියෙන් හඬමින්)
අනේ මගෙ රත්තරනේ උඹ මොකද්ද මේ කරගත්තේ.. අනෙ මගෙ පොඩිනෝ. උඹ මාව දාල ගියාද පොඩිනෝ. මට බෑ උඹ නැතුව ඉන්ඩ. අනේ මට බැන බැන ඉන්ඩ හරි ගෙදරට වරෙංකෝ මයෙ අම්මා..
(පොඩිනාගේ සිරුර බදාගෙන නම්බුහේන අඬාවැටේ)

මිනිසෙක්: මේ ඉලංදාරියෝ. දැන් උඹ ඇඬුවයි කියල මැරිච්ච ගෑනිට පණ එන්නෑ. මේක අමනුස්ස දිස්ටියකින් කොරපු වැඩක්. උඹ ගෙදර පලයන්. 

නම්බුහේන: (වියරු ලෙසින් කෑ ගසා) බුදු අම්මෝ මගෙ ගෑණි මලෝ. බුදු අම්මෝ..

නිමි.





No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..