අරමුණ : වර්තමාන සමාජයේ ප්‍රබලව පවතින කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීමේ ගැටලුව හා එමඟින් ඇති වන ලෙඩ රෝග පිළිබඳව සංකේතාත්මක ලෙස නිරූපණය කිරීම
චරිත : සුමනා
ප්‍රේමරත්න
පුතා
නන්දා
සුසිල්
යකා මල්ලි
යකා අයියා
සොබා අක්කා
පසුතල නිර්මාණ : මේස, පුටු වලින් සමන්විත නිවසක පසුතල හැඩයක් සහ මිදුලක් පසෙකින් නිරූපණය කරයි.
ආරම්භය :
සුමනා වේදිකාව මතට වී නිවස අතුගාමින් හිඳී. වේදිකාව මතට සැමියා ඇතුළු වේ.
ප්‍රේමරත්න : සුමනා සුමනා..
සුමනා : මොකද වදේ මැරෙන්න හදන්නෙ.. නම කටපාඩම් කරනවද?
ප්‍රේමරත්න : අනේ මේ ඕයි. අර මම ඊයෙ මැදල තිබ්බ ශර්ට් එක කෝ මනුස්සයො.
සුමනා : අනේ දෙයියනේ මං මේ අතුගානවා පේන්නැද්ද ඔහෙට? සුමන සුමන ගගා බෙරිහන් දෙන්නෙ. මේ තියෙන වැඩ මදිවට ගෙදර ඔක්කොම දේවල් මගෙන්නෙ අහන්නෙ. ඔන්න ඔය ඔහේ ඔළුවේ දාගෙන ඉන්න කණ්නාඩි ඇස් දෙකට දාගෙන හොයලා බලනවාකෝ කොහෙද කියල ශර්ට් එක.
ප්‍රේමරත්න: ඈහ්.. මොකක්ද කිව්වේ? මම මේ, මේ ගෙදර තියෙන බඩු ගැන ඔහේගෙන් අහන්නැතුව එහා ගෙදර උන්දැගෙන් අහන්නයැ. හරි වැඩක්නෙ මේක.
සුමනා: අනේ අම්මපා දැන් මෙතනට අඩු එහා ගෙදර උන්දැ විතරයි නෙහ්. ආන් අර ඉස්සරහ කාමරේ ඇඳුම් රැක් එකේ එල්ලලා ඇති ගිහින් ගන්ඩ.
ප්‍රේමරත්න: (තමාටම) හොයාගන්න බැහැ කියපු කියපු ෂර්ට් එක ඔය තිබ්බේ යස අපූරුවට.
සුමනා: මොනවද ඔහේ ඔය කුටු කුටු ගගා යන්නෙ? අහ්
ප්‍රේමරත්න : නෑ නෑ මම මේ කිව්වේ අර ගේ පිටිපස්සෙ ගොඩගහලා තියෙන කුණු ගොඩ.. ඒ කුණු ගොඩට මොකක්හරි කරන්න එපායැ. රටේ නැති ලෙඩ බෝවෙයි නැත්තම් ඕකෙන්.
සුමනා: ඔතන ඉතින් තියෙන්නේ අපේ ගෙදර කුණු විතරක්යැ. අහල පහල ගෙවල් වල කුණුත් ඔක්කොම ඔතනනෙ. අනික ඕවා වෙන් කරලා තිබ්බෙ නැත්තම් නගරසභාවෙන් අරන් යන්නෙත් නැහැ. අනේ මට නම් බැහැ ඔය කුණු මල ජරාව අල්ලන්න (ඉතා පිළිකුලෙන් යුතුව)
ප්‍රේමරත්න: අනේ අනේ.. එහෙම කියල බෑනේ සුමනා. එක්කො ඔය කුණු ටික පාරට දාන්න ඕන. එහෙමත් නැත්නම් ඕව පුච්චල දාන්න. ඔය අපේ වත්තෙත් ඕන තරම් ඉඩ තියෙන්නේ.
සුමනා: හා හා ඔයා දැන් වැඩට යන්න. දැන් ඔයාටත් පරක්කු වෙනවා මං යනවා අර කුණු ටික පුච්චන්න ගේ පිටිපස්සට. කෑම එක ගත්තා නේද මතක් කරල. කන්න කලින් සබන් දාල අත හෝදගන්න ප්‍රේමෙ.. දැන් එක එක ලෙඩ හැමතැනම.
(ඔවුහු වේදිකාවෙන් පිටව යයි)
(ඒ සමගම ජංගම දුරකථනය අතින් ගත් පිරිමි ළමයෙකු එය ක්‍රියාත්මක කරමින් වේදිකාවට පිවිසේ. ඔහු හෙඩ් සෙට් එකක් පැළද සිටී.)
(සුමනා වට පිට බලමින් යමෙකු සොයන අයුරින් නැවත වේදිකාවට පිවිසේ )
සුමනා: දරුවෝ... දරුවො... කෝ මේ ළමයා?
(පිරිමි ළමයාව දැක)
අහ් මේ ඉන්නෙ ඉලන්දාරියා..
කොයිවෙලේ බැලුවත් ගේම් ගහනවා. නැත්තම් ඔය මළ ඉලව්ව ඔබනවා. ඒකත් බැරිවුනොත් ටීවී බලනවා. දෙයියනේ මේ මිදුල පුරාම කුණු පිරිලා තියෙනවා. මේව ටිකක් අතුගාල දැම්මොත් නරකයිද? මං අහන්නෙ ඇයි ඉදලක් කොස්සක් අතට අහු වෙන්නෙම නැද්ද?
(පුතා පෝන් එක දෙස බලමින් සුමනා කියූ දේවල් නෑසුන සේ සිටී)
(සුමනා කේන්ති ගනිමින්)
(ඉතා ශබ්ද නගමින්)
සුමනා: මේ ඉලන්දාරියෝ. මේ බිත්ති හතරට කන් නෑනෙ. මං මේ උබට කතා කරේ.
පුතා : අයියෝ මටද ඔය කෑ ගහන්නෙ.. ඇයි අප්පා මේ. ඔන්න ඉතිං උදේම පටන් ගත්තා වෙනද වගේම අඳෝ ඇඩියාව. පේන්නැද්ද අම්මෙ මං මේ බිසී.
සුමනා: ඔව් ඔව් ඔය ෆෝන් බෑය අල්ල ගත්තම ඉතින් වෙන මොනව කරන්නද? මේ ජනාධිපතිටවත් නැති බිසී එකක් තමයි මෙයාට තියෙන්නේ..
පුතා: මොකක් කිව්වේ.. පොල් බෑය?
සුමනා: (අමනාපයෙන්) පොල් බෑය.. මං කියන්නෑ ඉතින්. මිදුල අතුගාන්න කියල කිව්වෙ මං.
පුතා: අනේ අම්මේ මේ, මිදුල අතු ගගා හිටියොත් මට අද පන්ති යන්න වෙන්නැහැ අම්මේ. මම යනවා.
සුමනා: හා හා අනේ අම්මෝ මම මේ මනුස්සයට කිව්වා මේ කුණු ටික අර පන්සල ඉස්සරහ බෝක්කුව ළඟටවත් ගිහින් දාන්න කියලා. කෝ ඉතින් කොහෙද ඔය ගිහින් තියෙන්නෙ අත් දෙක වන වන යස අපූරුවට. මේ කුණු ටික ගෙයි තිබ්බොත් මුළු ගේම ගඳ ගහයි. දැන් ඉතින් මම ද මේ කුණු ගිහින් දාන්ඩත් ඕන..
(ඇය ගෙතුලට යයි)
(ඉන්පසු තව ගැහැණියක් සහ පිරිමියෙක් වේදිකාවට පිවිසෙයි)
සුනිල්: මේ නන්දා.. මට පරක්කු වෙනවා මනුස්සයෝ ඔය මල්ල අරගෙන එනවකො ඉක්මනට. මම කිව්වනේ ඊයේ රෑම කුණු ටික වෙන් කරලා හදලා තියන්න කියලා මම යනකොටම අරන් යන්න
නන්දා: හරි හරි මං මේ අරගෙන එනවා මේ කෑම ටික බැඳගන්න ටිකක් පරක්කු වුණා එකේ ඉතුරු බිතුරු ටිකක් ඉතින් මේකට දාන්න එපැයි. හා හා මෙන්න මේ බෑග් එකේ කෑම එක. මේ තියෙන්නෙ කුණුමල්ල.
(නන්දා කෑම දැමූ බෑගයක් හා පොලිතින් බෑගයක දැමූ කුණු මල්ලක් සුනිල්ගේ අතට දෙයි)
සුනිල්: මේ මොකක්ද මේ? මොකද මේ නන්දා මේ මුළු ලෝකෙටම පේන්නද මම මේ කුණු ටික ගෙනියන්න ඕනෙ? මරු හැබැයි. මගේ රස්සාවත් නැති වෙයි මේක මෙහෙම පේන්න විසික් කරන්න ගියොත්. ඇත්තටම තමුසෙට මොලයක් නැද්ද නන්දෝ..?
නන්දා: මේ රස්සාව කියනකොට කියනකොට මට මතක් උනේ සුනිල්.. මේ..
සුනිල්: ඇයි ඒ පාර මොකද?
නන්දා: අර අපි වෙනද කුණු දාපු තැන අර පාරේ පන්සල ළග තියෙන බෝක්කුව.. ඒ හන්දිය ළඟ දැන් කුණු දාන්න බැහැනේ. සී.සී.ටී.වී හයි කරලලු ඒයි. හොඳ වෙලාවට ඊයේ මං කඩේ ගිහින් එද්දි දැක්කෙ. නැත්තම් ඉතින් බඩු අතේ මාට්ටු වෙනවා.
සුනිල්: අපොයි දෙයියනේ.. එහෙනම් ඉතින් ඕක ඔහෙම ගිහින් දානවා. මට නම් බැහැ. එක්කො කාගේ හරි වත්තකටවත් දාන්න. හැබැයි ඉතින් කාටවත් පේන්නේ නැති වෙන්න දාන්න. දැක්කොත් වීඩියෝ කරල නිව්ස් වලටත් දෙයි හොඳේ. දැන් බර ගාණක් දඩෙත් ගහනවලු.
(ඔවුන් දෙදෙනාම වේදිකාවෙන් පිට වේ)
(සුමනා වේදිකාව මත කුණු පුච්චමින් සිටී. නන්දා එතනට කුණු මල්ලක් අතේ තබා ගෙන එයි)
නන්දා: (සුමනාව දැක ඇය දෙස බලා මඳක් නතර වී) ආ... සුමනක්කේ කොහොමද?
සුමනා: අහ්.. මේ නන්ද නංගිනෙ.. හොඳයි හොඳයි. මොකද මේ ලොකු කුණු මල්ලකුත් උස්සගෙන කරන්නෙ?
නන්දා: ආ... මේකද? මේක මං මේ නගර සභාවට දෙන්න යන ගමන්. කුණු පිච්චුවට ඉතින් හරියට පිච්චෙන්නෙත් නෑනෙ.. මං ගියා ඕන්..
සුමනා: (ගස්සමින්) (තනිවම) අනේ.. අනේ.. ඔය යන ගමන් කුණු ටික කොහෙට හරි අතාරින්න තමයි ඔය යන්නෙ. අනෙ මගෙ කට.. මං දන්නැද්ද ඔය අම්මණ්ඩිගෙ හැටි.
පසුබිමින් බෙර හඬක් ඇසේ.
(කුණු මලු අතැතිව සුමනාගේ හා නන්දාගේ පවුල් දෙක වේදිකාවට පැමිණෙයි)
(බෙර හඬත් සමඟ යකුන් ලෙස සැරසුණු දෙදෙනකු වේදිකාවට පැමිණේ)
යකා මල්ලි: (හූ හඬ දෙමින්) හූ.... හූ.... ඇහුනදෝ... ඇහුනදෝ... කෝ මේ යකා අයිය කොහෙදෝ.. වරෝ.. වරෝ.. මරු තැනක් තියෙනවා අපිට රජ වෙන්න පුළුවන්..
යකා අයියා: මේ එනවා.. මේ එනවා යකා මල්ලි.. මෙදාපාර නම් අපි දෙන්නට සෙට් උනා නියම පොට් එකක් නේද? හා නැද්ද මල්ලියේ..
යකා මල්ලි: මේ මොනවා කියනවද අයියා යකා.. අම්මප යක් අයියේ මේක පොට් එකක් නෙවෙයි ජැක් පොට් එකක්.
යකා අයියා: බලපන් මල්ලි යකෝ.. මුන්ට ගැලපෙන දේවල් අපි ගෙනල්ලද කියලා.
යකා මල්ලි: මොකෝ නැත්තේ යකා අයියේ. මේ තියෙන්නෙ අපිට ඕන මරු බඩු ටිකක්. මෙදාපාර නම් ටිකක් බරපතලම කේස් ටිකක් තමා ගෙනැවිල්ල තියෙන්නෙ. මුන්ට අපෙන් ලේසියෙන් බේරෙන්න වෙන්නෑ මෙදා සැරේ.
යකා අයියා: මේ කට්ටියගේ වැඩ වලට බරපතළ ඒවත් මදි මලයෝ.. අලුතෙන්ම බඩු ටිකක් හදන්නත් වෙයි.
යකා මල්ලි: එහෙනම් එන්ඩ අයියේ මේන් මේක උස්සන්ඩකො.. මට තනියෙන් උස්සන්න බැහැ අයියේ මේක ඒ තරම් බරයි යකා අයියේ.
(යකුන් දෙදෙනා නරක පවුල් වලට රෝග බෝ කරයි)
(එක් එක් රෝගයන්හි නම් කියමින් රෝග මිනිසුන්ට බෝ කරන ආකරය නිරූපණය වේ)
යකා මල්ලි: ඔන්න අයියා අල්ලගනින් මැලේරියාව, පාචනය, කොලරාව, ඩෙංගු ඔය ඕන එකක් අල්ල ගනියෝ
(නිහඬව සිටි පවුල් වල උදවිය එකිනෙකා ක්‍රමයෙන් චංචල වෙමින් රෝගී වීමට පටන් ගනී)
(මෙය දකින යකුන් සතුටින් ඉපිල වියරු නර්තනයක් ඉදිරිපත් කරයි)
යකුන් දෙදෙනාම:
හුරේ හුරේ අපි දිනුවෝ
අපේ රෝග රජ කෙරුවෝ
පිරිසිදුකම නොදත් දනා
පරාජ වී දණ නැමුවෝ..
මල්ලි යකා: හරියට හරි.. මල් හතයි. ඔය එන්නේ කැරකිලා.. අහ් නැද්ද අයියා.
අයියා යකා: කොයි වගේ ඒවාද අපි මෙහාට දැම්මෙ මල්ලි යකෝ..
මල්ලි යකා: ඔක්කොම.. ඔක්කොම.. ආයේ ඉතිං කුණු ගොඩින් ඔලුව උස්සන්න බෑ ඔය යක්කුන්ට. මේ.. අයියා.. අර පිරිසිදුවට ඉන්න කට්ටියත් ඉන්නවනේ. බලාපන් එතැනටත් පොඩි හරි දෙයක් දාන්න පුලුවන්ද කියලා. උන්ටත් අපේ බලේ පෙන්නන්න ඕන.
යකා අයියා: ගිය පාරත් ඔය ගෙදරට දාන්න ගිහින් මතකනේ සොබා අක්කා අපිට කරපු හරිය . කමක් නෑ ඉතින් දැන් මල්ලිගෙ ආසාවනෙ.. මේ පාරත් දාන්නකො මල්ලි බලන්න
(බරටම පෙට්ටියක් ඔසවාගෙන ගියද සොබාදම් මාතාව ඔවුන්ට බාධා කරයි)
(රෝගී වූ අය නැගිට පරිසරය පිරිසුදු කරයි)
යකා මල්ලි: බුදු අම්මෝ.. අයියේ මට පන එපෝ.. අම්මෝ.. අම්මෝ.. දුවපන් දුවපන් සොබා අක්කා අපිට තලනව අම්බානකට
(ඔවුන් දෙදෙනා පසකට දිව යයි)
යකා අයියා: (හති දමමින්) මම උඹට කිව්වනේ කලින්ම මෙහෙම වෙයි කියලා.
යකා මල්ලි: මේගොල්ලොන්ට පිස්සුද මන්දා. මොන මගුලකටද අනේ මේ පරිසරය රකින්නේ? කුණු ටිකක් පිරිල ගඳ ගහන කොට බලන්න එපැයි මේ පරිසරයෙ හැඩ.
යකා අයියා: ඒ විතරක්ද? ඇයි සුවඳ මල්ලියෙ.. මේක අපිට ඉන්න හිතෙන රටක් මල්ලි.. මල්ලි හරි මල්ලි..
යකා අයියා: ඕවා ගණන් ගන්න එපා මල්ලි ඔයා උඩහා පැත්තේ තව හොඳ පොට් එකක් තියෙනවා අපි යක් බොස්ගෙන් මාරුවක් ඉල්ල ගමුකො ඒ පැත්තට..
යකා මල්ලි: එහෙම හොඳයි අයියේ අපි ඉක්මනට යමුද එහෙනම්..?
යකා අයියා: හා යමු මල්ලි
(යකුන් දෙදෙනා පිටත්වෙයි. ඔවුන්ගේ ලෙඩ පෙට්ටිය රැගෙන යාමට අමතක ඔවුන්ට අමතක වෙති)
(මඳ දුරක් ගොස්)
යකා අයියා: යකා මල්ලියේ.. අපිට මොනාහරි අමතක වෙලා වගේ දැනෙනවා
යකා මල්ලි: මොනවා අමතක වෙන්නද අනේ.. මං මෙතන.. අයියා ඔතන.. අපි දෙන්නගෙම ඇඳුම් ඇඟේ මොළගෙඩිය ඔලුගෙඩි ඇතුළේ. තව මොනවත් නෑනෙ සේරම හරි.
යකා අයියා: ආ.... යමු එහෙනම් මලයෝ
(ටික දුරක් ගොස්)
යකා මල්ලි: බුදු අම්මෝ යකා අයියේ... අපේ පණ දාල ආවා නේද?
යකා අයියා: මොන පිස්සුද මලයෝ. මගේ පණ නුවර ගියා නේ. උඹේ පණත් මගේ පණ එක්ක එහේ ගියා නේද?
මතක නැද්ද මලයෝ
(සරදමට මෙන්)
යකා මල්ලි: ඒ පණවල් ද අයියේ. ඒ ගිනි ගොඩවල්නෙ අයියේ. මම මේ කියන්නේ අපේ ලෙඩ පෙට්ටිය ගැන අයියේ..
යකා අයියා: ඔව්මනෙ මලයො. සොබා අක්කට බයවෙලා අර වැටෙන් පනිද්දි ඒක දාල ආව නේද? උඹ දුවලා ගිහින් ඒක අරන් වරෙන් මලයෝ.
(යකා මල්ලි දුවගෙන ගොස් සූට්කේසය රැගෙන එයි. දෙදෙනාම වේදිකාවෙන් පිටවෙති)
දෙදෙනාම: (ගයමින් )
අපි සන්තෝසෙන් ඉන්නේ
කුණු ගොඩමයි වළඳන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී..
නිමි.
No comments:
Post a Comment