සිංහල කවිය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නකි. සිංහල කාව්‍යය ඉතිහාසය දෙස විචාරක්ෂිය හෙළීමේදී මුලින්ම හමුවන්නේ 'ගී කාව්‍යය යුගය' යි. මෙය ජයවර්ධනපුර අවධියේදී සිවුපද විරිත ඔස්සේත්, මහනුවර හා මාතර අවධිවලට පැමිණෙන විට සිලෝ විරිත ඔස්සේත් කාලානුරූව විවිධාකාර වූ වෙනස්කම්වලට බඳුන් වෙමින් කොළඹ යුගයේදී වඩාත් ජනප්‍රිය ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් විය. එබැවින් සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයේ අවසානයත් සමඟ තත්කාලීන දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික පසුබිම පාදක කර ගනිමින් 19 වන සියවසේ අග හා 20 වන සියවසේ මුල් භාගයේ දී පමණ ‘නූතන සිංහල කවියේ’ සමාරම්භය සිදු වූ බව අපට පැහැදිලි වෙයි. පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි වූ ආගමික මුහුණුවර ද, පූර්ව නිශ්චිත කාව්‍ය ආකෘතිය, සාම්ප්‍රදායික භාෂාව හා අලංකාර භාවිතය සේම අන්තර්ගතයද අර්ථසම්පන්න වෙනසකට භාජනය විය. මෙම යුගයේ දී කවිය සමකාලීන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වෙනස්වීම්වලට සමගාමීව බිහි වූයේ ය. කවියේ ආගමික හා සාම්ප්‍රදායික මුහුණුවර, පොදු ජනයාගේ ලෞකික අත්දැකීම් හා හැඟීම් ප්‍රතිනිර්මාණය උදෙසා භාවිත කිරීමටද, භාෂාවේ වූ පණ්ඩිතප්‍රිය වූ විදග්ධභාවය ක්‍රම ක්‍රමයෙන් ව්‍යවහාරික භාෂාවට සමීප කිරීමටද මෙකී යුගයේ කවීන් සමත් විය. කවිසමයානුගත අලංකාර රීතීන් වෙනුවට පොදු ජන අවබෝධය හා අරමුණු සාධනය කරගැනීම උදෙසා වූ අලංකාර රීතීන් වෙත මෙම යුගයේ කවීහු නැඹුරු වූහ. මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තිය සමග කවිය පොදු ජන සමාජය අතර ජනප්‍රිය, සරල ප්‍රකාශන මාධ්‍යයක් බවට ක්‍රමයෙන් පත්විය. එතෙක් පැවතියා වූ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ සේම ඉන් පසු පොදු ජන සාහිත්‍යයක් කරා විතැන් වූ කවියේ ද නොමඳ පෝෂණයත්, බටහිර සාහිත්‍යයේ ප්‍රබල ආභාසයත් ලබමින් එය සිදු විය. නූතන කවියේ ප්‍රථම භාගයේ කවීන් අතර පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, එස් මහින්ද හිමි සහ ජී. එච්. පෙරේරා ආදීහු ප්‍රමුඛ වෙති. එවකට අධිරාජ්‍යවාදයට එරෙහිව රට තුළ බිහි වූ ජාතික ව්‍යාපාරයේ අදහස් මොවුන්ගේ රචනා වලට හේතුභූත විය. ජාතිකාභිමානය, පාරම්පරික සාරධර්ම, මුතුන් මිත්තන්ගේ ගුණ වරුණ සේම අතීත ශ්‍රී විභූතිය ගෙනහැර පෑමේ නිර්මාණ මෙම කවීන්ගේ නිර්මාණ අතුරින් කැපී පෙනේ. එසේම ඒ සඳහා කේන්ද්‍රය වශයෙන් ළමයා යොදා ගත් බවද ඉහත කවීන්ගේ කාව්‍ය සමුච්ච නිරීක්ෂණය කිරීමේ දී විශද වෙයි. එම යුගයේ කවිය වෙසෙසින් ම මෙහෙය වූයේ යුගයේ අවශ්‍යතාව වෙනුවෙනි. එහෙයින් මෙම යුගයේ කාව්‍ය අධ්‍යයනය කළ යුත්තේ ඒ ඒ කවි හුදෙකලාව ගනිමින් නොව යුගයේ සමාජ පසුබිම කෙරෙහි සවිඥානික වෙමිනි. මින් පසු අවධිය වන කොළඹ කවියේ දෙවන තරංගය ඉතා ප්‍රබල ලෙස කවිය පොදු ජනයාට සමීප වූ කාල වකවානුවක් ලෙස සැලකිය හැකිය. පී.බී අල්විස් පෙරේරා,සාගර පලන්සූරිය (කේයස්), විමලරත්න කුමාරගම, බී. එච්. අමරසේන, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන කවීහු මෙම යුගය නියෝජනය කළහ. ප්‍රමාණාත්මකව ඉතා විශාල සංඛ්‍යාවක් කවි ලියැවුණු මෙම යුගයේ කවිය ජනතාව අතර පතළ වීම සඳහා මුද්‍රණ ශිල්පයේ දියුණුව ඍජුව බල පෑවේය. කවි පොත්, කවි සඟරා සේම කවි කොළද සුලබ වූ මෙම යුගයේ බොහෝ කවීහු නොමඳව ආභාසය ලබාගත්තේ බටහිර රෝමාන්තික කවීන්ගෙනි. එබැවින් ඔවුන්ගේ කවිය ඊට පූර්ව යුගයේ කවීන්ගේ කාව්‍ය ආකෘතිය අතින් සේම භාෂාව හා වස්තු විෂය අතින්ද බෙහෙවින් වෙනස් විය. වස්තු විෂය විවිධ වීමත්, භාෂාව සරල හා සුගම වීමත් භාව ගෝචර උපමා රූපකවලින් සමන්විත වීමත් මෙහි විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැකි ය. ස්ත්‍රිය හා ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සෞන්දර්යාත්මකව චිත්‍රණය කිරීමට බොහෝ කවීන් පෙලඹුණු අතර පුද්ගල හා සමාජ අත්දැකීම් මානව දයාවෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීමට මොවුහු නිබඳව ම උත්සාහ ගත්හ.කොළඹ කවීන් එක්තරා ප්‍රමාණයකට මනෝලෝක ප්‍රතිනිර්මාණය කිරීමට තැත් කළද, තම හාත්පස සමාජය ප්‍රතිනිර්මාණය කිරීමටද අවංක උත්සයයක් දරා ඇති බව ඔවුන්ගේ නිර්මාණ කෙරෙහි විචාරක්ෂිය යොමු කිරීමේදී පැහැදිලි වෙයි. නූතන කවිය සම්බන්ධව විමර්ශනය කිරීමේදී ‘හෙළ හවුල’ සාකච්ඡාවට බඳුන් කළ යුතු වෙයි. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණු ව්‍යාකරණ ශාස්ත්‍රය සම්බන්ධ දැඩි මතධාරී ගුරු කුලයක් වන මෙහි සිංහල කවිය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සැපයූ කවීහු කිහිප දෙනෙක් ද වෙති. ස්වකීය භාෂා මතවාද නිර්මාණ කාර්යයයේදී පවුරක් වූද, සූක්ෂ්මව විශිෂ්ට නිර්මාණශීලී ප්‍රතිභාවක් දක්වන්නා වූ කුමාරතුංග මුනිදාස, අරිසෙන් අහුබුදු, රැයිපියල් තෙන්නකෝන් වැනි කවීන්ගේ නිර්මාණවලින් මෙය ප්‍රකට වෙයි. නමුදු මොවුන් භාෂාව සම්බන්ධයෙන් දැරූ දැඩි මතවාදීමය ස්වරූපය නිසා හෙළ හවුලේ සිටි පුද්ගලයන් රැසකට සිය කුසලතාව විදහා දැක්වීමට වරම් නොලැබුණු බව විද්වත් අදහසයි. ඉහත අවධීන්හි කවියේ වූ ඒකාකාරී බව, දුබලතා සේම, මානව හා සමාජ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම උදෙසා නවමු කාව්‍ය ප්‍රස්තුත, භාෂා හා රීතීන් මෙන්ම අලංකාර සම්ප්‍රදායක කාලීන අවශ්‍යතාව කාලීනව පැන නගිමින් තිබූ යුගයක ජී. බී. සේනානායක පලි ගැනීම (1948) නම් වූ ස්වකීය කෙටි කතා සමුච්චයට අන්තර්ගත කොට "ගද්‍යයත් පද්‍යයත් අතර රචනා විශේෂයක්” ලෙස නම් කරමින් නිදහස් පද්‍ය ආකෘතිය කවියට හඳුන්වා දෙයි. සේනානායකගේ මෙකී ප්‍රයත්නය නූතන කවි මගෙහි ගමන් මග වෙනස් කිරීමට දැනුවත්ව සිදු කළ ප්‍රයත්නයක් ලෙසින්ද සැලකිය හැකිය. ඉන්පසු කාව්‍ය රචනයට අවතීර්ණ වූ ගුණදාස අමරසේකරයන්ද ඔහුගේ භාවගීත (1954) කෘතිය ඔස්සේ සිංහල කවියෙහි ප්‍රගමනයට අර්ථවත් සේවාවක් ඉටුකිරීමට සමත් විය. එසේම සිරි ගුනසිංහයන් විසින් "බුද්ධි ගෝචර" සාහිත්‍යාංගයක් ලෙස හඳුන්වා දෙන නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ද බිහිවන්නේ මීට තදාසන්න කාලයක දී ය. මස් ලේ නැති ඇට යනුවෙන් 1956 වර්ශයේදී කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත්කළ සිරි ගුනසිංහ "නූතන කවියෙහි ඇත්තේ බුද්ධියෙන්ම ග්‍රහනය කර ගත යුතු හැඟීම් හා අදහස් ය” යන මතයෙහි තරයේ එල්බ සිටියෙකි. ඔහු කවිය නවමු මාවතකට ප්‍රවේශ කිරීමේ, එසේත් නැතිනම් සිවුපද ආකෘතියෙන් මිදී නවමු කාව්‍ය සම්ප්‍රදායකට ප්‍රවිශ්ඨ කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රබල මැදිහත්කරුවා ලෙස හැඳින්වීම නිවරදිය. මෙසේ ආරම්භ වූ 'නිසඳැස් කාව්‍ය’ සම්ප්‍රදායෙහි යම් යම් දුබලතා පැවතියද කවි රස විඳින ජනයාට එය ආගන්තුක අත්දැකීමක් විය. මෙනයින් බලන කල නිසඳැස් කාව්‍යයෙහි වූ නිෂේධනීය ලක්ෂණ බැහැර කරමින් සාධනීය ලක්ෂණ උකහා ගනිමින්, සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයෙන් ද ජන කාව්‍ය සම්ප්‍රදායෙන් ද, විදේශීය කවියෙන් ද නො මඳ ආභාසය ලබමින් නූතනය දක්වා කවිය රැගෙන ආ පුරෝගාමීන් ලෙස ගුණදාස අමරසේකර හා මහගම සේකර යන කවීන් දෙ පළ සැලකිය හැකි ය. මහගමසේකරයන්ගේ මග යන්නා වූ රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ වැනි කවීන්ට හා කිවිඳියන්ට නූතන කාව්‍ය සම්ප්‍රදායෙහි මුල් තැනක් හිමි වෙයි. නූතනයෙහි දී කවිය අර්ථපූර්ණ හා භාවපූර්ණ ප්‍රකාශන මාධ්‍යයක් බවට පත්කිරීමෙහිලා බොහෝ කවි කිවිඳියෝ උත්සාහ දරති. ඔවුන් අතර නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, යමුනා මාලිනී පෙරේරා, එරික් ඉලයප්පාරච්චි හා විමල් දිසානායක ආදී ජ්‍යෙෂ්ඨයන් සේම ලක්ශාන්ත අතුකෝරළ, මංජුල වෙඩිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුහර්ෂණී ධර්මරත්න, ටිම්රාන් කීර්ති, සෞම්‍ය සඳරුවන් ලියනගේ, අනුරාධා නිල්මිණි වැනි තරුණ කවි කිවිඳියන් ද වෙති.
.....
Subscribe to:
Post Comments (Atom)
සඳ අයිති අහසට හරි ආදරෙන්
, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...
ජනප්‍රියම සිතළු..
-
අසෙනිය කුසුමක්.. කඳුළු මත්තෙන් ජීවිතය ඇහිදින ඈ.. පළමු දිගහැරුම.. පොඩ්ඩියෙ.. ඔය ඇති මැණිකෙ. මගෙ මැණික දැන් ලෑස්ති වෙන්න. පරක්කු වෙනවනෙ මැණික...
-
අඩුපාඩු මගෙ කොතෙක් තිබුණත්, දරාගෙන ආදරේ කරපු කෙනෙක් මේ ලොව කොහේ ඇත්දෝ නුබම තරමට සෙනෙහෙ වඩපු..🙂 සසරෙ කල පින් නිමිති කරගෙන මගේ වී මගෙ ලගම ර...
-
කාලයක් දුටුව සිහිනයක් දෑස් අභිමුව ඉටුවෙද්දි, පපු කුහර ඇතුලෙන් ඉපිලයන සතුටක් දැනෙද්දි, සිහිනයෙන් දුටු සරසවිය පියවි ඇසින් දකිද්දි, වැටහුණී මට,...
.jpeg)
No comments:
Post a Comment