.....

සරසවි මතක පොත


සරසවි මතක පොත

ඇත්තටම සරසවිය කියන්නෙ හරි අපූරු තැනක්. මුලින්ම සරසවියට අඩිය තිබ්බ දවස මේ දැන් උනත් මතක් කරන්න පුලුවන් හරි ලස්සන ඒ වගේම දුක්බර දවසක්. ඉතින් ඒ සරසවි මතක පොතේ පිටුවක් මෙහෙම අකුරු කරන්නම්.❤️

කොරෝනා නිසා ගෙදර ම කොටුවෙලා ඔන්ලයින් ලෙක්චර්ස් වලට ගියපු අපි හැමදාම බලන් හිටියෙ කැම්පස් ප්‍රිසිකල් පටන් ගන්නව කියන මේල් එක එනකල්. දෙතුන් පාරක්ම කැම්පස් එකට එන්න කියල මේල් එවල තිබුනත්, ඒ දවස ළං වෙද්දිම ආයෙ පටන් ගන්න එක කල් ගියා කියන මේල් එකත් එනෝ.😒 අන්තිමට අවුරුදුම හතරම ඔන්ලයින් කරයි කියන භය අපි හැමෝටම තිබුනා. ඒත් වාසනාවකට වගේ ඔන්න ප්‍රිසිකල් පටන් ගන්නව කියන මේල් එකත් ආවා. පටන් ගන්නකල් ඇගිලි ගැන ගැන බලන් හිටියට මොකද ඒ දවස ළං වෙද්දි නම් ඇත්තටම හිත කිව්වෙම යන්න බෑ කියලමයි. ඒ වෙද්දි බැච් එකේ යාලුවොත් ටික ටික අපි අඳුරගෙන හිටියා. ඔය අතරෙ එක එක ගැටි ත් තිබ්බ. සබ්ජෙක්ට් ගැට්ට, මීඩියම් ගැට්ට වගේ ඒවා. ඔය අස්සෙ පළාත් ගැට්ටකුත් තිබ්බ.. එක එක පළාත් වල අය සෙට් වෙලා ට්‍රිප් එහෙමත් ගිහින් තිබ්බ. මොනදේ කොහොම උනත් කැම්පස් යන දවස එන්න එන්නම ළං වෙද්දි එක එක්කෙනාට එක එක ප්‍රශ්න තිබුනා. 
ලෑස්ති කරගන්න ඕනි බඩු ලිස්ට් දෙක තුන පවා ගෲප් වල ශෙයා උනා. හැමෝටම තිබ්බ ලොකුම ප්‍රශ්නෙ අදින ඇදුම. ගෑනු ළමයින්ට අඳින්න තිබුනෙ තුන්කාලෙ සායයි මැදින් පලපු කොලර් තියෙන අත්දිග බ්ලව්ස් එකයි. මේකට විශ්ව විද්‍යාල භාෂාවෙන් කියන්නෙ අල කිට් එක කියල. ඉතින් බහුතරයක් මේ අල කිට් එක අදින්න අකමැත්තෙන් උන්නෙ. කොහොම කොහොම හරි හැමෝම පුලු පුලුවන් විදියට බඩුත් ලෑස්ති කරගත්තා. 

ඔන්න ඒ දවස් උදා උනා. ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න තියෙන දුක තදින්ම හිතේ තිබ්බා. නහයෙන් අඩ අඩ බඩුත් ලෑස්ති කරන් කොළඹ එදන් සබරගමුවට ගියා. ගෙදරින් ඈත කැම්පස් එකක් ලැබුනට සතුටින් හිටියට මොකද යද්දි තමා තේරුණේ කොච්චර දුර ගමනක්ද කියලා😅 යනව යනවා ඉවරයක් නෑ. කැම්පස් එකට ආවට පස්සෙ නම් අඳුරන දෙතුන් දෙනා හිනා වෙලා කතා කරන්න පටන් ගත්තා. ඒත් හිතේ තිබ්බ භය නම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. කැම්පස් එකේ ගේට් එකෙන් ඇතුල් වෙද්දිම කකුල් දෙකත් වෙව්ලනවා වගේ. සීනියර් අයියලා අක්කලා පිරිලා. ඔන්න ටික් ටික රැග් එකට තියෙන භය මතු වෙන්න ගත්ත. ඒත් ගේට්ටුව ළඟදි අපිව ලස්සනට පිළි අරගෙන හිනා වෙලා කතා කරද්දි නම් ඒකට තියෙන භය අඩු උනා. බඩු මලුත් උස්සන් ගේට් එකෙන් ඇතුල් වෙද්දි හිතුනෙ ඒක වෙනම ලෝකයක් කියලා. කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේක හිටපු අපිට නම් ඇත්තටම ඒ පරිසරය හරි ලස්සනයි කියලා හිතුනා.

කොහොමින් කොහොම හරි බඩු මලුත් උස්සගෙන අපි නේවාසිකාගාර ගේට්ටුව ළගට ආවා. දැන් තමා හොදම හරිය.. සමහරු හිනා වෙලා ගෙදර අයට සමු දෙනවා. තවත් සමහරු දුකෙන් ගෙදර අය යන දිහා බලන් ඉන්නවා. තවත් සමහරු හොටු පෙර පෙර අඩනෝ. මාත් අයිති ඒ ගොඩට තමා ඉතින්. මොකද ගෙදරින් වෙන් වෙලා පිට තැනකට යන පළවෙනි වතාව. අම්මල නැතුව නිදාගන්න වෙන පළවෙනි දවස. ඉතින් ගෙදර එකම ළමය උන මං ඒක කොහොම දරාගන්නද? 

ඔන්න අර බඩු මලුත් උස්සන් හොස්ටල් එකට ආව. අපිට හම්බුනෙ දෙවෙනි තට්ටුව. කට්ටිය හෝ ගාලා වැඩ. සමහරු අතු ගානො. සමහරු මකුළු දැල් කඩනෝ, සමහරු ඇදන් පිහිනෝ. එක එක අය එක එක වැඩ. කාමරේ හිටපු එක යාලුවෙක් නම් මං හොදටම දන්න කෙනෙක් උනත්, අනික් දෙන්න එක්ක නම් කලින් වැඩිය කතා කරල තිබ්බෙ නෑ. ඔන්න ටික ටික එයාලවත් අඳුර ගත්තා. අපි හතර දෙනා පළාත් හතරක. ඉතින් හතර දෙනාගෙ භාෂා වලත් පොඩි පොඩි වෙනස්කම් තිබ්බා😅 කොහොමින් කොහොම හරි රූමො ටික නම් තකට තක. ගියපු පළවෙනි දවසෙම රෑ හතර දෙනාම බ්‍රශ් අරගෙන දත් මදින්නත් ගියා.😅 හැබැයි රෑට දත් මැද්දෙ එදා විතරමයි.🥲 සෙට් එකෙන්ම අඩන බබා උනේ මං. ගෙදර මතක් වෙලා මුල් දවස් තුන හතරෙම ඇඩුව. අනික් උන් හිත හැදුවා. 

ඔන්න ඔහොම අපි කැම්පස් එකට ඇවිත් මාසයක් විතර ගෙව්නා. හරිම සුන්දර මතක ගොන්නක් එකතු උනා. මතක් කර කර හිනා වෙන්න පුලුවන් සිදුවීම් වගේම මතක් වෙද්දිත් එපා වෙන සිද්ධි ඔය අතර තිබුනා. 

කොයි වෙලාවෙත් මල් කඩන, හැම වෙලාවෙම කච කච ගගා කියවන කතා පෙට්ටි වගේම, නින්දට අධිපති දේවතාවි‍යොත් අපි අතර හිටියා.

සමහරු නම් වොශ් රූම් එකට යන්නෙත් කොක්කගෙන් අහල, කද්දිත් පෝන් එක කනේ. ඒ වගේම හැදි ගෑරුප්පු වලින් වලදන කලම්බු සෙවන් කුරුදුවත්තෙ නෝනලත් හිටියා. 

මේ සිද්ධි අතර අමතක නොවෙනම සිද්ධියක් තියෙනව. ඒ තමයි අපේ කාමරේ හිටපු දකුණෙ උත්තමාවිය යතුර ඇතුළෙ තියෙද්දිම ඉබ්බ ලොක් කරපු එක. ( එයාට චුට්ටක් ට්‍රැක් අවුට්. ඒක වෙනම කතාවක්) අනේ ඉතින් ඒ ලොක් එක අරින්න අපි එදා නොකරපු දෙයක් නෑ😅 කැන්ටිමේ අන්කලෙ පොල් බිදින මන්නෙ ගෙනාවත් ඇර ගන්න බැරි උනා. යූ ටියුබ් එකෙන් බලලත් එකේකේවා ට්‍රයි කරා.😅 ඉටිපන්දමකින් ඉබ්බ රත් කරා. ඒ ඉබ්බට නොදීපු වදයක් නෑ. එපා වෙලාමද කොහෙද පස්සෙන් පහු හයියෙන් එකක් ගහද්දිම කැඩුනා😅 

සතුටට වගේම දුකටත් අපි එකට හිටියා. තමන්ගෙ ප්‍රශ්න අපේ කරගෙන උත්තරත් හෙව්වා. ලෙඩක් දුකක් හැදුනමත් ළගින්ම ඉදන් සාත්තු කරා. කොයිම වෙලාවකවත් තනිකමක් පාලුවක් දැනුනෙ නෑ අපිට. 

කම්මැලිම හිතුනු දවසට අල්ලපු කාමර වල රූමොන්ට එන්න කියල පොඩි බජව්වකුත් දාපු දවස් එමටයි. අපි ආසම කොක් ඩාන්ස් එකට.😅😅 තේ එකක් හැදුවත් හතර දෙනාම එකට බොන්නෙ. ඒ වගේමයි කාට හරි ටොෆියක් හම්බුනත් ඒක රූම් එකට අරන් ඇවිත් බෙදාගෙන තමයි කන්නෙ.
ඔය අස්සෙ රසටම තේ හදන්න පුලුවන් එකාට කියලා හැමදාම තේ හදවගත්තු දවසුත් තිබ්බ. ඒකා ඉතින් බැන බැන තේ හදනෝ🥲 

ඔය අතරෙ හීටර් ජග් එකේ නූඩ්ලස් හදලා අඩිය අල්ලපු අවස්තාත් තිබ්බ. මොනව උනත් එහෙම කනකොට මරු. වේලක් කාල වේලක් නොකා හිටපු දවස් වගේම කවුරුහරි ගෙදර ගිහින් එද්දි අරන් එන බත් එක කන්න මඟ බලන් හිටපු දවසුත් තිබුනා.

මේ හැමදේම හරි සුන්දර රස මතක. ආයෙ ආයෙම මතක් කරද්දි ඒ දවස් වලටම යන්න හිතෙන..❤️

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..