අසෙනිය කුසුමක්.. 03
කඳුළු මත්තෙ ජීවිතය ඇහිදින ඈ..
තෙවන දිගහැරුම..
විහාරාගේ පියා වන රණසිංහට සිය අතීතය සිහිපත් වුණි. මීට වසර විසි පහකට මත්තෙන් භද්‍ර යෞවන වියේ හුන් රණසිංහට විහාරාගේ මව වූ අයෝමා මුණ ගැසුණ අයුරුත්, එතැන් සිට මේ දක්වා තම ජීවිතය වෙනස් වූ අයුරුත් ඔහු සිහිපත් කළේය. අයෝමා යනු එකල සැබවින්ම රූමත් ගැහැණියකි. විලුඹ දක්වා දිග කෙස් වැටියත්, හැඩැති සිරුර හා පැහැපත් සමත් නිසා එම රූමත් බව ඔප් නැංවී තිබුණි. විහාරාද ඇගේ මවගේ කපාපු පලුවක්ම ය. වාසනාවකට මෙන් මවගේ ගතිගුණ ඇයට පිහිටා නොතිබිණි. රණසිංහ කොතරම් හොඳ පුද්‍ගලයෙක් වුවත් අයෝමාට ඔහු හා දිවි ගෙවිය නොහැකි විය. ඇයගේ හිතුවක්කාර හා නොමනා හැසිරීමට රණසිංහ ප්‍රිය නොකළේ ය. විවා පත් වී තෙවසරක් ගෙවී යත්දීම ඔවුන්ගේ විවාහ දිවියට කණකොකා හඬන්නට විය. රණසිංහගේම මිතුරෙකු වූ සුසිල් සමඟ අයෝමා අනියම් සම්බන්ධයක් ඇති කරගන්නා විට විහාරාට අවුරුදු එකහමාරක් පමණය. කොතෙකුත් අවවාද කළද ඔවුන් දෙදෙනාම එම සම්බන්ධය නවතා දැමීමට උත්සුක නොවී ය. කල් යත්ම කිරි දරුවෙකු වූ විහාරාව තම මව සමීපයේ තබා අයෝමා සුසිල් හා අනියම් පෙම් සුව විඳීමට ගියා ය. එම ඇසුර කාටත් හොර රහසේ සුසිල් හා අයෝමා පැන යාම දක්වාම වර්ධනය විය. මවක් නොමැතිව ගැහැණු දරුවෙකු වූ විහාරාව උස් මහත් කිරීම සැබවින්ම රණසිංහට අභියෝගයක් විය. අයෝමාගේ මව වූ ගුණවතී නිවසේ සිටි හෙයින් රණසිංහට එය යම් අස්වැසිල්ලක් විය.
ඕකි ගැන හිතන්න එපා පුතේ. ගිය ගෑණි ගියා. අම්මප මේකිට මේ රත්තරං මිනිහ එක්ක ඉන්න බැරි උනානෙ. කරුමෙ.. කරුමේ. පවට පින දෙන්න බෑනෙ.
ගුණවතීට සිය දියණිය පිළිබඳව තිබුනේ දැඩි කෝපයකි.
මෙච්චර ලස්සන කෙලි පැටියෙක්ව දාල මේකි කොහොම ගියාද දෙයියනේ. තියෙන නොසන්ඩාල කම.. වල් බැල්ලියෙක්.. මේකි මගේ බඩින් වදාපු දරුවෙක් නම් වෙන්න බෑ.
විටින් විට ගුණවතී සිය කෝපය පිට කළේ එලෙසිනි.
විහාරා සිය මිත්තණිය හා පිය තුරුළේ පෝෂණය විය. මවගේ රූමත් බව හා පියාගේ ගතිගුණ පිහිටා තිබූ දියණිය ඉගෙනීමට මෙන්ම පාසලේ අනෙකුත් භාහිර කටයුතු වලටද දක්ෂතා දැක්වූ හෙයින් පාසල තුළද සියල්ලන්ගේම ආදරය හා අවධානය දිනා ගෙන සිටියේය.
කාලය එසේ පියඹා ගොස් තමා ලෙඩ ඇඳකට වැටීම දක්වාම දෛවය තමාගේ ජීවිතය වෙනස් කළ අයුරු ඔහු සිහිපත් කළේ සොවිනි.
තාත්තේ.. තාත්තේ..
ඕ පොඩ්ඩි.. දැන්ද ආවේ මයෙ දූ..
මොනවැයි ඔය හැටි කල්පනා කරන්නෙ තාත්තා.. මම දැන් ගොඩක් වෙලා මෙතනට වෙලා බලන් හිටියෙ.
මොකුත් නෑ මැණිකෙ. මං මේ දූ තාම පරක්කු මොකද කියලා බැලුවා.
වෙන්න බෑ වෙන්න බෑ. ලොකු දුරක ගිහින් හිටියේ තාත්තා
අනේ නෑ පොඩ්ඩි. පැහිච්චි කතා නැතුව දැන් ගිහින් ඇඟ සෝද ගන්න..
හ්ම්ම්. මම ඉක්මනට වොශ් එකක් දාන් කන්න මොනා හරි හදන්නම් තාත්තේ. උදේටයි දවල්ටයි කාලා බෙහෙත් බිව්ව නේද වෙලාවට.
ඔව් පොඩ්ඩි.
හරි තාත්තෙ ඉන්නකො. ඉක්මනට අල හොද්දක් හදන්නම්. මං එන කොට සුනිල් අන්කල්ගෙ බේකරියෙන් පාන් ගෙඩියක් ගෙනාවා. තාත්තා ආසයිනෙ උණු උණුවේ පාන් කන්න.
එසේ කියූ විහාරා ඉක්මනින් ඇඟ සෝදා දඩිබිඩියේ රාත්‍රී කෑම පිළියෙල කිරීමට පටන් ගත්තාය. අල හොද්දක් ඉක්මනින්ම සෑදූ ඇය රණසිංහට පමණක් බිත්තරයක් තැම්බුවාය.
අනේ තාත්තට මේ දවස් ටිකේ හරියට කන්න දෙයක්වත් ගේන්න බැරි උනා. කොහෙද අනේ පඩි අරන් ඒ බලලා මේ බලද්දි පඩිය ඉවරයි. ගෙවල් කුලී දුන්නෑ කියලා ඇන්ටි තාත්තට කෑ ගහවිද දන්නෙත් නෑ ඇවිත්. මේ මාසේ ඕටී ටිකක්වත් කරගන්න ඕනි වැඩියෙන්.
විහාරාද මෙලෙසින් කල්පනා සයුරක කිමිදෙන්නට විය. බඩු මිල අහස උසට නැග ගොස් ය. සැබවින්ම ජීවත් වීමට නම් මාර කට්ටක් කා යුතුය. උගත්කම තිබ්බද ඊට සරිලන රස්සාවක් සොයා ගැනීම පහසු නොවේ. රස්සාවක් කළද එයින් ලැබෙන වැටුපට වඩා ජීවන වියදම වැඩිය.
*******************************************
මහත්තයෝ.. මට පොඩ්ඩක් කතා කරන්න ඕන.
කියන්න සුනේත්‍රා මොකද?
මහත්තයො පොඩ්ඩක් චූටි පුතා ගැන බැලුවොත් හොඳයි නේද අපි.?
ඇයි මොකද පින්සරට වෙලා තියෙන්නෙ..?
දරුව ඉස්සරට වඩා ගොඩක් වෙනස් මහත්තයො. එන්න එන්න වෙනස් වෙනවා. අපිව ගණන් ගන්නෑ. හරියට කේන්ති යනවා. මට කොල්ල ගැන බයයි මහත්තයෝ.
අහ් ඕකා කොහොමත් කුකුල් කේන්ති කාරයනෙ. ඕවා ටික දවසකින් මග ඇරිලා යයි. මේ මට වැඩ තියෙනව සුනේත්‍රා. මීටින් එකට යන්න ඕනි 10 ට කලින්. මං යනවා.
එසේ කියූ සරත් නිවසින් පිට විය. සුනේත්‍රාට දැනුනේ මහත් කළකිරීමකි. පින්සර සහන්ටත් වඩා හොඳ දරුවෙකි. සහන් යනු පින්සරගේ අයියා ය. ඔහු කුඩා කළ පටන් ආත්මාර්තකාමී දරුවෙකි. නමුත් පින්සර එසේ නොවේ. ඔහු තමාටත් වඩා සිතන්නේ අනෙකා ගැනය. එහෙවු දරුවාට මෙසේ වීම සුනේත්‍රාට දරාගත නොහැකිය.
අපේම වැරදි තීරණ නිසා දරුවො දුක් විඳිනවා. සරත්ට මීට වඩා මගෙ කොල්ල ගැන හිතන්න තිබුනා. කොහොම හිටපු දරුවෙක්ද මේ අද මෙහෙම ඉන්නෙ. අනේ දෙයියනේ මගෙ කොල්ලා..
එසේ සිතමින් සිටියදීම නිවසේ දුරකතනය නාද විය..
☎ ☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎
හෙලෝ..
හෙලෝ අම්මා.
පින්සර.. මගෙ පුතේ කියන්න.
අම්මා මං දවස් දෙකකට විතර ගෙදර එන්නෑ. ඒක කියන්න ගත්තෙ.
අනේ කොහෙද පුතේ යන්නෙ.
ඒ බයිල වැඩක් නෑනෙ. මං තියන්නම්.
අනේ පුතේ කියන්නකො.. මොකක් හරි වැඩකට යනවද.? ඔෆිස් එකෙ වැඩක්ද..
හෙලෝ.. හෙලෝ.. හෙලෝ..
පුතේ..
සුනේත්‍රා කතා කරද්දීම පින්සර ඇමතුම විසන්ධි කොට හමාරය. සිදු වූයේ අඬන්න සිටි මිනිහාට ඇහැට ඇන්නා හා සමාන සිදුවීමකි. පින්සර පිළිබඳ සිතමින් හුන් සුනේත්‍රාට දැනුනේ තවත් වේදනාවකි.
අදට විරාමයක්.

very nice😍😢
ReplyDelete