පේරාදෙණි පරපුරේ දැවැන්තයින් දෙදෙනාගෙන් එක් අයකු වන්නාක් සේම ශ්‍රී ලාංකීය නිසදැස් සම්ප්‍රදාය නව මුහුණුවරක් වෙත යොමු කළ විප්ලවකාරී කවියෙක් වශයෙන් ද සිරි ගුණසිංහයන් හැඳින්වීම වරදක් නොවේ. අබිනික්මන පද්‍ය ද එතුමන් විසින් 1958 වර්ෂයේදී එනමින්ම පළ කරන්නට යෙදුණු පද්‍ය සංග්‍රහය තුළ සංගෘහිත වේ.
කවියාගේ පරිකල්පනය ට සීමා මායිම් නැත. "තෙරක් නොමැති කවි සසරේ මහ බඹු කවියා විතරේ" යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් කියන්නට ඇත්තේ ද එබැවිනි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙරාතුව ගත කළ කාම භෝගී දිවි පෙවෙත හැර දමා සත්‍ය ගවේෂණයට පිළිපන් අවස්ථාවේ ලද අත්දැකීම් සම්භාරය මෙම පද්‍ය නිර්මාණයට පාදක කොට ගෙන ඇත. එකී චාරිකාවේදී මුණ ගැසෙන ගුරුවරුන් අතින් ලැබූ අවබෝධය සැබෑ විමුක්තිය නොවන බව වටහා ගන්නා සිදුහත් බෝසතාණන් පත්වන්නේ මහත් වියවුලකට ය. කවියා පූර්වෝක්ත මනෝ විශ්ලේෂණය තුළින් පාඨකයා වෙත සිදු කරනුයේ බුද්ධිමත් ආමන්ත්‍රණය කි. කවියා විසින් ස්වකීය අනවබෝධය නිර්මාණ කාර්යයක් මැයෙන් පාඨක රසිකයා වෙත රැගෙන එන්නේ දී භාවිතා කරනු ලබන කාව්‍යෝපක්‍රම අඩු වැඩි වශයෙන් රස උත්පාදනය සඳහා ඉවහල් වන ආකාරය මීළඟට විමසා බැලේ. මෙහිදී නිසඳැස් ආකෘතිය ඉතා පැහැදිලි ලෙස භාවිතා කර ඇති බව පෙනේ. උපමා, රූපක, සංකේත, බදු භාෂා ප්‍රයෝග රාශියක් මෙහිදී උපයුක්ත ය. ශබ්ද මාධුර්යය අතින් රසවත් කිරීමෙහිලා අනුප්‍රාසය , පද සංඝටනය තුළින් පැනෙන රිද්ම ලක්ෂණ ආදිය දක්වන්නේ නොමද දායකත්වය කි.
කවියා භාවිතා කරනු ලබන භාෂාව වර්තමාන ව්‍යවහාර භාෂාවේත්, චිරන්තන ගද්‍ය පද්‍ය භාෂාවෙත් සංකලනයකි. කවියට අවශ්‍ය දැනිය සම්පාදනය හි ලා එහි අනුචිත බවක් පළ නොවේ.
"පැමිණියෙමි විකාරයෙන් ගෙවාගෙන දුරුකතර
නේරන්ජනාවෙන් ගොඩවෙන්න විමසමින්
සිහිනයක් ඇත එගොඩ
සුදු සිනහවෙන් පිරුණු"
සිදුහත් බෝසතුන්ගේ සත්‍ය ගවේෂණ චාරිකාව විකාරෙන් මෙන් පැමිණි එකක් බව කවියා ගේ අදහසයි. මෙහි නේරංජාව සමපාත වන්නේ එතෙර විය යුතු සංසාරයට ය. ඉන් ඔබ්බෙහි ඇති සත්‍යාවබෝධය නම් සිහිනය සුදු සිනහවෙන් පිරුණු එකකි. එම සංකල්ප රූපයෙන් ගම්‍යමාන වන්නේ කෙලෙසුන් කෙරෙන් වියුක්ත වූ උතුම් සැපතෙහි ඇති ශාන්ත සුන්දර ස්වරූපයයි. සමස්ත පද්‍ය තුළ යෙදෙන "අන්ධකාරය" "අවිද්‍යා" බදු යෙදුම් චිරන්තන භාෂාවෙන් උකහා ගත් තත් සම පද වන අතර සිසු යෙදුම් සියල්ලක්ම පාහේ වර්තමාන ව්‍යවහාරයට වඩා සමීප බව පෙනේ.
උපමා රූපක අලංකාර බඳු බොහෝමයක් අලංකාර ක්‍රම මෙම පද්‍ය රචනයේ සුචිතය.
"ඉඳහිට කිසිවෙක්
හිටගෙන කන්දක
පඩි සුළු අත්තෙන් දුන්නත් එළියක්
කණාමැදිරියෙක් මෙන්
අඳුරු අවිද්‍යා ආකාසේ
මොහොතින් නැවතත් අඳුරෙන් වැසුණා."
ආලාරකාලාම, උද්ගතරාමපුත්ත ආදී ගරුකටයුතු ඇදුරන් ඇසුරින් ලැබූ අවබොධය ආර්ය මාර්ගයේ ඒකාලෝක කිරීමට ප්‍රමාණවත් නොවීය. පඬි සුළු අත්ත යන රූපකය එම අවස්ථාව නිරූපණයේදී මැනවින් පෑහෙන නවමු කාව්‍යෝක්තිය කි. ඉන් ලද ආලෝකය අංශු මාත්‍රයකි. කදෝපැණි එළියක් මෙන් සැණෙකින් නැවතත් අවිද්‍යාව නමැති ආකාශ ය අඳුරු පටලයකින් වැසී යයි.
පැරණි අලංකාර වාදීන් විසින් සන්දේශ අලංකාරය වශයෙන් හඳුන්වා දුන් අලංකාර ක්‍රමවේදය ද මෙම පද්‍ය පන්තිය ඔපවත් කිරීමට දායක වී තිබේ.
"නේරංජාවෙන්
යා යුතුය එගොඩවී"
සත්‍ය සොයා පැමිණි නමුත් සත්‍ය හමුවී ද යන සැකය ද සිදුහත් තවුසා තුළ විටින් විට මතු වන්නට පටන් ගනී. නමුත් සත්‍ය සොයා යාම අත්හැරීමටද ඔහු සූදානම් නැත. මෙවැනි සිතිවිලි එකිනෙක අතර ඇතිවන දෝලනය සමස්ත පද්‍ය නිර්මාණය පුරාම දැක ගත හැකිය.
භෞතිකව බැඳීම් අත් හැරිය ද ආධ්‍යාත්මිකව අත්හැරීම ඊට වඩා බෙහෙවින් අසීරු ප්‍රයත්නය කි. බිරිඳ පුතු ආදී වූ බන්ධුජනයින්, නිරන්තරයෙන් සිහිපත් වන්නේ එබැවිනි.
මේ අනුව විමසා බැලීමේදී සිරි ගුණසිංහගේ අබිනික්මන පද්‍ය නිර්මාණය රස පූර්ණ වූත්, සාරගර්භ වූ නිමැවුමක් වශයෙන් අගය කළ හැකිය. ආඛ්‍යාන කාව්‍යක ස්වරූපය ගන්නා බැවින් සංශිප්ත බව පිළිබඳව ගැටලුවක් පැවතිය ද වෙනත් දුබලතා අතින් බෙහෙවින්ම විනිර්මුක්ත බවද කිව යුතුය.
No comments:
Post a Comment