මෙහි
කවියාගේ අරමුණ වී ඇත්තේ සිඟිති
දියණියක හා තනි
වූ ශක්තිමත් පියෙකුගේ මනෝභාවයන් ලොවට විෂධ
කිරීමයි. උත්තම පුරුෂ දෘශ්ටිකෝණයෙන් ලියැවී ඇති මෙකී කවියේ අනුභූතිය වන්නේ ස්නේහබර පියෙකු හා
කුඩා දියණියක අතර චිත්‍රයක් අඳින
අවස්ථාවකි. කතුවරයා ඉතා දක්ෂ අයුරින් අත්දැකීම පාඨකයාට
විවර කොට නිර්මාණයට අත්පොත් තබා ඇත. සාමාන්‍ය අත්දැකීමක් වුවත් මෙහි විශේෂත්වය
වන්නේ එකී අත්දැකීම ප්‍රතිර්මාණය කොට ඇති ආකාරයයි.
"අහසකට ලස්සනම
ගෑවමයි දම්පාට
හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට"
ස්වභාව
සෞන්දර්ය හා අපූර්වාකාරයෙන් බද්ධ කොට කාව්‍යකරණය සිදුකර ඇති බව මෙකී නිර්මාණයට
විචාරාක්ෂිය යොමු කිරීමේ දී පිළිඹිබු
වේ. දම් පාටින් ලා සඳ බැස යනවා යන ගීතයේ
සංකල්පරූපී බව මෙකී කව රස විඳීමේදී ද පාඨකයාට දැනේ. සැබවින්ම හැන්දෑවට අපූරු
වර්ණයක් ලෙසින් දම් පැහැය උපයෝගී කර ඇත. මෙහිදී ක්‍රම ක්‍රමයෙන් වෙරළ ලග හැන්දෑව
යන චිත්‍රය ඇඳීමට පියා දියණියට උපදෙස් දෙයි. කවියා ප්‍රබල ලෙස පාඨකයාට චිත්ත රූප
ජනනය වන අයුරින් මෙය විවරණය කොට ඇති බව මා හැඟි කරුණකි. රැයක් ලස්සන වීමට නම් සඳ තිබිය යුතුම ය. පවුලක්
සම්පූර්ණ වීමට නම් මව එහි සිටිය යුතුම ය. ව්‍යංගාර්ථයෙන් වුවත් කවියා අර්ථගන්වන්නේ එකී කාරණාව
යි.
"දුවේ නුඹ
දන්නවද දුරයි හඳ හාවට
අඳින්නට ඕන නෑ ඒ නිසා ආවට"
සිව් පද ආකෘතියෙන් විරචිත මෙකව තුළින් කවියා
පරිසරයේ හා සමාජයේ ඇති සියුම් කාරණා අපූරු ලෙසින් විදහා දැක්වීමට ද සමත් වී ඇත. දියණියක
සමග තනි වී ඇති පියෙකුගේ චිත්ත සන්තානය
තුළ ඇති හැගීම් සියුම් ලෙසින් කවියට පාදක කරගනී. මෙකී දියණියට තම මව දුර ය. හේතුව
කුමක් වුවත් ඒ පිළිබඳ තතු විමසා
දැන් පලක් නොමැත. මව සඳකට උපමා කොට ඇත.
එකී සඳේ සිටිනා හාවා වන්නේ දියණියයි. සඳේ ඇති ආවාට ලෙසින් දක්වන්නේ, මවගේ අඩුපාඩු, දුර්වලතා ද විය හැකිය.
"චිත්‍රයට
නගද්දී එක ලඟින් ඇන්දාට
අහස සයුරට
දුරයි බර වැඩියි මගේ දූට
ගගනතේ මායිමේ
නුඹ ඇඳපු වවුලාට
ළගින් තවකෙකු අඳිමු තනිය හොද නෑ ඌට"
කවියේ අගට —ට˜ ශබ්දය යොදා
එළිසමය සුරකිමින් ශබ්ද මාධූර්යය කුළු ගන්වා ඇති
සේ ම, සහෘදයාට ඉතා
හෘදයංගම සරල සුගම බස් වහරක්ද කවියා මෙකී කවියට උපයුක්ත කර ඇත. අත්දැකීමට උචිතම
භාෂාව කවියට යොදා තිබීමද කවියේ සාර්ථකත්වයට
තුඩු දුන් එක් හේතුවකි. මාත්‍රා 20 විරිතක ලක්ෂණ මෙහි පිළිබිබු වේ. කථක පියා දියණියක සමග තනි වූවෙකි.
සැබැවින්ම දියණියක් පියෙකුට වඩා සමීප වන්නේ මවට ය. මවක විසින් දියණියකගේ
හැඟීම් අවබෝධ කරගන්නා ආකාරය සේ ම , යම් යම් සැඟවුණු රහස් මවට පවසන ආකාරයෙන්
පියෙකුට පැවසීමට තරම් සමීපවීමට දියණියකට අසීරු වේ. එමෙන්ම මවක නොමැතිව දියණියක උස්
මහත් කිරීම ද ඉතා අසීරු කාරණාවකි. මෙකී පද්‍යයේ එන පියාද මවගෙන් වියුක්තව තනිව
දියණිය රැක බලා ගනී. ඔහුගේ චිත්ත සන්තානය තුළ තෙරපෙන පාළුව, දුක්ඛිත බව ද
කවියා අපූර්වාකාරයෙන් මෙමඟින් ගම්‍යමාන කරයි. අහස සයුරට දුරයි , තනිය හොඳ නෑ
ඌට යන පද්‍යය පාද මගින් එය මොනවට ප්‍රතීයමාන වේ. එසේම
දියණියගේ අනාගතය ගැන මහමෙරක් සම වූ බරක් ද මෙකී පියා ගේ සිතෙහි තිබෙනවා විය හැකිය.
එක් සියුම් රේඛාවකින් චිත්‍රයක් තුළ දී අහස හා සයුර වෙන් කළ ද සැබෑ ජීවිතයේදී එය එතරම් පහසු කාරණයක් නොවේ.
සැබවින්ම අහසට සයුර දුරය. ඒ බව කවියා මෙමඟින් අර්ථවත් කරයි. සමහර අවස්ථාවන්හි යම් කරුණක් පවසන
නමුත්, එය ගැඹුරින් පැහැදිලි නොකොට "ඒක මගෙ දූට බර වැඩියි" යනුවෙන් පවසන අවස්ථාවක් ලෙසින්ද මෙය දැකිය
හැකිය. යම් විටක ඒ පැවසීමට ගොස් නතර කරගත් කාරණය මව පිළිබඳ හෝඩුවාවක්ද විය හැකිය.
මෙකී පියාගේ ජීවිතය තුළද අන් අයට නොපෙනෙන්නා වූ සිත තුළ කැකෑරෙන වේදනාවක් පවතී. තම
බිරිඳගෙන් වියුක්තව
තනිව ගෙවන ජීවිතය ද එවැනිය යන්න පිළිබිඹු වේ. එසේම චිත්‍රයේ අහසේ කොනක දියණිය
තනියෙන් රූපණය කළ වවුලා චිත්‍රයේදී පවා තනි නොකර තව වවුලෙක් ඇඳ චිත්‍රය සම්පූර්ණ
කරන්න යැයි කථකයා පවසයි. එමගින් ප්‍රතීයමාන වන්නේ ද බිරිඳ නොමැති දිවිය තුළ ඇති පාලුව තනිකමයි. මෙය
ව්‍යංගාර්ථවත් ව කවියා විවර කොට ඇත.
"ටීචරුත් ලකුණු
දෙයි නො වෙන් බිය සංකාව
දැන් හරිම
ලස්සනයි වෙරළ ළඟ සැන්දෑව
චිත්‍රෙ අපි
නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව
එහෙම උනොතින් ළමයි සොයයි නුඹේ අම්මාව"
උක්ත පද්‍යය පාද ඔස්සේ කවියා පාඨකයාව ඉතා සංවේදී
භාවයට පත් කරයි. ගුරුතුමිය පැවසූ අයුරින් සැන්දෑ වෙරළක චිත්‍රය දැන් චිත්‍රණය කොට
අවසාන ය. ලා දම් පැහැ අහසේ කොණක සඳ බැබළෙයි. අහස හා සයුරද ඇඳ හමාරය. ගුරුතුමිය
උපදෙස් දුන් ආකාරයට චිත්‍රය නිම කළ හෙයින් ලකුණු ලැබේ යන්න පවසන පියා අවසානයට
පවසන්නේ අරුමැති කතාවකි. එනම් මෙකී චිත්‍රයේ පියා හා දියණිය නොඇඳිය යුතු බවයි. මන්දයත්
එවිට දියණියගේ මව කොහේදැයි ඇයගේ යහළුවන් ප්‍රශ්න කරන බැවිනි. සැබැවින්ම සිඟිති
දියණියට එයට දීමට පිළිතුරු නොමැත. ඇයගේ මව ට සිදු වූයේ කුමක්ද යන්න සිතා ගැනීමට
පාඨකයාට ම භාර කරන කවියා පාඨකයාව සංවේදී මානයක තනි කරමින් කවිය අවසන් කරයි. ඔහු තම
හදවතේ ඔප්පුව තමන් එක සිතින් ප්‍රේම කර තැනැත්තියට භාර දුන්නත් එකී ප්‍රේමය විඳගැනීමට ඇය නොමැත. හදවතේ මුල් ඔප්පුව ඇය මායිම් නොකළ බව
අපූරු කාව්‍යෝක්තියකින් ව්‍යංගාර්ථවත්ව පවසයි.
තමන් ප්‍රේමකරනා සියල්ලම තමන්ට හිමි වන්නේ නැත. එලෙස හිමි වුවත් එකී ප්‍රේමය විඳගැනීමට නොලැබීම ඉතා ඛේදනීය තත්ත්වයකි. මෙකී පියාට ද තම දියණියගේ මව සමඟ ජීවිතය බෙදා ගැනීමට වරම් නොමැත. සමහරවිට ඇය ඔහුව හා දියණියව හැරදා වෙනත් මානයක දිවි ගෙවනවා විය හැකිය. එසේත් නොමැති නම් ලෝක ධර්මතාවයට අනුව කුමක් හෝ හේතුවක් නිසා ආයුෂ කෙළවර වූවා ද විය හැකි ය. මෙකී කුමන හේතුවක් වුවද අවසානයේ ඔහුට සිදුවූයේ සිඟිති දියණියක හා තනි වීමට ය. විශිෂ්ඨ කවියක ඇති ලක්ශණයක් ලෙසින් කවියකින් පාඨකයාට කුතුහලය දැනවීම පෙන්වා දිය හැකිය. මෙකී කවිය මඟින් කවියාගේ මුඛ්‍ය අරමුණ ප්‍රථමයෙන් ධ්වනිත නොකර කවිය අවසනයේදී විෂධ කොට ඇත. මෙමඟින් පියා පිළිබඳ පාඨක සිත් තුළ කරුණා රසයක් ජනිත වේ. ස්වකීය විප්‍රයෝගය පරිසරය හා මුසු කරමින් එකී සංසිද්ධිය සරල බස් වහරක් ඔස්සේ සංකල්ප රූප ජනනය වන්නා සේ ව්‍යංගාර්ථවත් සේම, අත්දැකීම ප්‍රතිනිර්මාණය ප්‍රතිභාන්විත ව සිදුකරන ලද සංවේදී කාව්‍යයක් ලෙසින් මෙකී කව හැඳින්විය හැකිය.
👌👌
ReplyDelete🥰👍👍
ReplyDelete✍️❤
ReplyDeleteඅනර්ඝයි....👌😍👌
ReplyDelete❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete