.....

ගවර උරුමය..

හුරු පුරුදු කිරි කිරි හඬක් ශ්‍රවණය වීමෙන් ඔහු වහා හිස ඔසවා බැලීය. ගෙවත්තේ ගේට්ටුවෙන් ඇතුළට පැමිණෙමින් සිටියේ කවරෙක් ද? ඊලග මොහොතේ මුළුමනින් ම විශ්මයට පත් වූ බවක් ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට වුණි. එයට හේතුව වූයේ පැමිණෙමින් සිටිය ජේත්තුකාර තැනැත්තා ඒ ප්‍රදේශයේ දී කිසිවිටෙකත් දැකගැනිමට අපේක්ෂා නොකළ තැනැත්තෙකු වූ හෙයිනි. නිල ඇඳුමකින් සැරසී සිටි එම තැනැත්තා ඉතා හැඩිදැඩි අයෙකු විය. 
"ඉතින් නිහාල් උඹට මාව මතකද ?" එසේ අසමින් එම තැනැත්තා ඔහුගේ ගොරෝසු හඬ අවදි කරන්නට විය.
"මේ චන්දරේ නේද අඳුරගන්නත් බැරිවුණානෙ." ඔහු එම තැනැත්තාව ඇඳිනු ස්වභාවයක් දිස් විය.
"අහ් තාම නිහාල්ට අපිව මතකයි නේ... මම් මේ මෙහෙට ගොඩවැදුනෙ කාරණා දෙකතුනක් ගැන කතා කරන්න.. " එසේ කියන විට නිහාල්ගෙ මුහුණ බැරෑරුම් ස්වභාවයක් ගන්නට විය. 
"අනුරාධපුරෙන් ඉඳන් රත්නපුරේට මේ තකහනියෙ අනික රාජකාරි ඇඳුමින්.මට පේන්නෙ අද වරුවක් වැඩ කරල එහෙම්මම ඇවිත් වගේ.ඒ තරම් විශේෂ කාරණයක්. කියමුකො බලන්න." එසේ කියමින් නිහාල් තම අතේ තිබූ පුවක් කෑල්ල කටට දමමින් බුලත් කොලයක දෙකොන කඩන්නට විය.

නිහාල් හා චන්දරේ වූ කල්හි වැලිකෙලියෙ පටන් හොඳම යහලුවන් වූ අතර ඔවුන්ගේ සිතුම් පැතුම් හා ගතිගුණ බොහෝසෙයින් සමාන වන්නට විය. රත්නපුර ප්‍රදේශයේ වූ කුඩා සුන්දර ගමක ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ළමා කාලය ගෙවාදවන්නට විය. වයසින් මුහුකුරායත්ම ඔවුන්ට ජීවිතයේ බර දැනෙන්නට විය. නිහාල් තම පියාගෙ ගොවිතැන් කටයුතු වලට උදව් කිරීමට තීරණය කළ අතර චන්දරේ පොලිස් සේවයට බැඳෙන්නට විය. එතැන් පටන් ඔවුන්ගෙ ජීවන ගමන මාර්ග දෙකක් වන්නට විය. මීට වසර 10කට පෙර අනුරාධපුර පොලිස් වසමට ස්ථාන මාරුවක් ලැබීම නිසා මිතුරන් දෙදෙනාට වෙන් වන්නට විය. 

පුටුවේ හරිබරි ගැසී හිඳගත් චන්දරේ එකවරම "අද තමයි දවස නිහාල් අද තමයි දවස" යැයි කියන්නට විය.
එසේ කියූ විගස නිහාල්ට හපමින් සිටි විට හපය පිට උගුරෙ යන්නට විය. කිසිත් කියාගත නොහැකිව චන්දරේ දෙස බැලුවේ පුදුමයෙනි.
"මතකද නිහාල් මීට අවුරුදු 10කට කලින් මම් කීව එක. ඔව් ඒක සිද්ද වෙනව අද රෑට. යන්න කලින් මම දුන්න විස්තර තියෙනවනෙ?" චන්දරේ කියාගෙන යන විට නිහාල්ගෙ මුහුණේ බැරෑරුම් ස්වභාවය වැඩි වන්නට විය.
"හ්ම්ම්ම්ම්" සුලු මොහොතකින් එසේ නිහාල් විසින් ඔහුගේ හඬ අවදි කරන ලදි. පුටුවෙන් නැගීසිටි ඔහු චන්දරේ කැටුව ගියේ බොහෝ කාලයකට පෙර වසා දමන ලද දොරක් වෙතටය. දුහුවිලි වලින් පිරී තිබූ එහි යතුර කරකවන හඬ මුලු නිවසෙහිම දෝංකාර දුන්නෙ දෙදෙනාම තිගස්සවමිනි. 
"මම දැනගෙන හිටියා දවසක මේ දොර අරින්න චන්දරේ එනව කියල." එසේ කියමින් නිහාල් එම කාමරයේ වූ පරණ පෙට්ටෙකමක් වෙත යන්නට විය. තම කර මත වූ රෙදි කැබැල්ලෙන් පෙට්ටිය මත වූ ගනකම දුහුවිලි තට්ටුව ඉවත් කළ නිහාල් එය විවෘත කළේය. 
"එහෙනම් ඒ ටික තාම තියෙනව මගෙ මිත්‍රයා චන්දරේ ඔහුගේ කතා විලාසය පවා වෙනස් කර ඇත." නිහාල් එහි වූ ඉතා පැරණි පුස්කොළ පොත් කිහිපයක්, සටහන් වගයක් සහ අමුතුම ආකාරයේ උපකරණයක් එලියට ගත්තේය.
" එහෙනම් අද රෑට සැබෑ උරුමකරු බිහිවෙනව. ඔව් අද රෑට ඒක වෙනව." චන්දරේ එසේ කියමින් නිහාල් විසින් එලියෙන් තිබූ සටහන් නැවත අවුස්සන්නට විය.
මේ වනවිට ඉතාම සන්සුන් භාවයකට පත්වී සිටි නිහාල් නැවත කෙටි සුසුමක් හෙලමින් චන්දරේ අමතන්නට විය. "තාම නිල ඇඳුමින් නේද චන්දරේ... ඉස්සරලම මූණ කට හෝදන් ඇඳුම් මාරු කරානම් නේද හොඳ. මේ වැඩේට ඔය ඇඳුම ගැලපෙන්නෑ."
එයට අවනත වූ බවක් පෙන්වූ චන්දරේ අත තිබූ සටහන් මේසය මත තබා කාමරයෙන් පිටතට පැමිණියේය.
" නිහාල් මට ආයෙ වාසගම කියනවද?" ඇඟට වතුර එකක් දමාගන්න ගමන් චන්දරේ නිහාල්හෙන් අසන්නට විය.
"G.C..." නිහාල්ගේ පිලිතුර ඉතාමත් කෙටි විය.
"මම ඒක දන්නව මනුස්සයො. මම ඇහුවෙ ඒකෙ තේරුම. මගෙ දිව අග තියෙනව එන්නෙ නෑ"
"ගවර චන්ද්‍රනායකගේ. ඇයි චන්දරේ එකපාරම?" 
" අහ් අන්න හරි. ගවර චන්ද්‍රනායකගේ. මම බැලුවෙ හරිම මනුස්සයද කියල." චන්දරේ එතැනින් කතාව නවත්තන්නට විය.

නිහාල්ගෙ පරපුර ඉතාමත් ඈත ඉතිහාසයකට හිමිකම් කියන්නට විය. ඇතැමුන් පැවසූ ආකාරයට එම පරපුර රාවණ සමය දක්වා ඈතට දිවෙයි. එහි සත්‍යතාවක් නොතිබුණාම නොවේ. ඔවුන් සතුව ඉතා පැරණි පුස්කොළ පොතක් රාශියක් වූ අතර ප්‍රදේශයේම ඉතා ප්‍රසිද්ධ වෙද පරම්පරාවක්ද විය. කාලයත් සමඟ කෙමෙන් වියැකුනද ඒ වනවිටත් බොහොමයක් බෙහෙත් වට්ටෝරු නිහාල් විසින් දැනගෙන සිටියේය. පුදුමයට කාරණාව නම් ඔවුන්ගේ පවුල් ඉතිහාසය තුල යම් කාලසීමාවකට වරක් යම් කිසි සිදුවීමක් සිදුවී තිබීමයි. එය කුමක්ද යන්න කිසිවෙක් දැන නොසිටියේය.

මැදියම් රැයට හෝරා කිහිපයක් තිබියදී දෙදෙනාම නිවසෙන් පිටවන්නට විය. චන්දරේගෙ එක් අතක විදුලි පන්දමක්ද අනෙක් අතේ තරමක් විශාල කොලයක් විය. බැලූබැල්මට එය කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසු වුවද ඉතාමත් පරීක්ෂාකාරීව බැලූ කල ඕනෑම කෙනෙක්ට පහසුවෙන් එය සිතියමක් බව හඳුනාගත හැකිය. නිහාල් අත වූයේ හෝරා 2කට පමණ පෙර පෙට්ටකමෙන් ලබාගත් උපකරණයයි. දැවයෙන් හා ලෝහවලින් නිමවූ එම උපකරණය ක්‍රියාත්මක කරන ආකාරයක් ඔවුන් දැන සිටියේ නැත. කලාතුරකින් ඇහෙන බල්ලෙකුගේ අඳෝනාවක්වැනි උඩුබිරුමක් විනා අන් කිසිදු ශබ්දයක් ඔවුන්ගේ සවනත වැටුණේ නැත. පැයක පමණ දීර්ග ගමනකින් පසු ඔවුන් කඳු පාමුලක් වෙත ළඟාවිය.
" නිහාල් මේ කන්දෙ මුදුන තමයි තැන. අපිට තව වෙලාව තියෙනව. ඒ වුණාට අපි එතනට කලින් යන එක තමයි හොඳ. අපි ඉක්මන් කරමු." බොහෝ වෙලාවකට පසු තම හඬ අවදිකළ චන්දරේ එසේ කීවේය.
" හරි අපි යන්" 
" නිහාල් දන්නවනෙ මං තනිකඩ මිනිහා. මගෙ ජීවිතෙන් වැඩිපුරම කාලයක් ගෙවුනෙ මේ වෙනුවෙන්. මේකෙන් පස්සෙනම් මම් මැරුණත් කමක් නෑ"
චන්දරේ එසේ කීවද කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නිහාල් නොවේ. ඔහුගේ ගත කන්ද තරණය කරමින් තිබුණද සිත තිබුණේ ආලෝක වර්ශ ගණනක් ඈතට වන්නටය.
" නිහාල් මොනවද අහස පොළව ගැටගහන්න කල්පනා කරන්නෙ" යැයි පවසමින් චන්දරේ නිහාල්ගේ පිටට දමන ලැබූ තට්ටුවෙන් නිහාල් පියවි සිහියට පැමිණියේය.
"හරි හරි ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ අපි යන් දැනටමත් අපි ළඟට ඇවිත්"
කඳුමුදුනට ළඟාවන විට මැදියම් රැය ළඟාවෙමින් තිබුණි.එකවරම ඈත කඳුකරයේ කොනකින් ඇසුණ උලමෙකුගේ හඬින් දෙදෙනාම තැතිගන්නට විය.
" ඒකනම් හොඳ ලකුණක් නෙමේ චන්දරේ"
" නෑ නෑ මුකුත් වෙන්නෑ.... හිතන්නෙපා " 
කඳුමුදුනේ ගලින් නිමවන ලද යම් කිසි නිර්මාණයක් විය. හඳ එලියෙන් අවට ආලෝකවෙමින් පැවතියේය. වටපිට බැලූ ඔවුන්ට යන්තම් දිස් වූයේ තවත් කඳුමුදුන් තුනක් පමණි. එම කඳු තුන විසින් ඔවුන් සිටි කන්ද ආවරණය කර සිටිනවාදෝ ඔවුන්ට සිතුණි.
" චන්දරේ.. මට හිතෙනව ඒ කඳු තුන හරියට ත්‍රිකෝණයක පාද තුන වගේ කියල. අපි ඉන්නෙ ඒ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂයේ කියල "
" ඇත්ත තමා නිහාල් මටත් ඒකම හිතුන"
එකවරම දැඩි සීතලක් විසින් ඔවුන්ව වෙලාගන්නට විය. නමුත් ගහක කොළයක්වත් සෙලවුණේ නැත. 
" චන්දරේ අර බලන්න අර කඳු මුදුන් දිහා" 
ඒ දෙස හිස හැරවූ චන්දරේ දුටුවේ ඒ කඳු මුදුන් තුනෙන් නිල්පැහැයට හුරු ආලෝකයක් විහිදෙන බවයි. 
" අවුරුදු 150කට පස්සෙ ආයෙත් ඒක වෙන්නයි යන්නෙ. නිහාල් දැන් තමා වෙලාව. අතෙන්ට යන්න" 
හිස පමණක් සෙලවූ ඔහු ගලින් කරන ලද නිර්මාණය වෙතට යන්නට විය. එය අසලට යනවිට ඔහුගේ අතේ තිබූ උපකරණය ආලෝකයක් නිකුත් කරන්නට විය. එය එතරම් දීප්තිමත් නොවුණත් අවට තිබූ අඳුර නිසා පැහැදිලිව පෙනුනේය. හිස එසවූ නිහාල්ට දක්නට ලැබුණේ ඔහු ඉදිරියේ ඇති ගලින් කර ඇති නිර්මාණයේද තම අත ඇති උපකරණයට සමාන හැඩයකින් යුත් හිඩසකි.
" මේක උපකරණයක් නෙමේ එහෙනම්. මේක යතුරක්" නිහාල් තමන්ටම කියාගන්නට විය.
එම හිඩසේ තම අත තිබූ යතුර රැඳවූ නිහාල් තරමක් පිටුපසට වූවේය. එකවරම පොලව දෙදරීමකට ලක්විය. අනෙක් කඳු මුදුන් වලින් දිස් වූ ආලෝකයට සමාන ආලෝකයක් එම ගලින් කර නිර්මාණයෙන්ද නිකුත් විය. එය අනෙක් ඒවාට වඩා දීප්තිමත් විය. එකවරම එම නිර්මාණය ඉදිරියෙන් වෘත්තකයට හැඩකයට සමාන ආලෝකයක් පොළොව මත පතිත විය. නිහාල් ඒ වෙතට ගියේ නොදැනීමය. නැවත වරක් පොළව දෙදරා ගියේය. නිහාල් ඉදිරියේ ඇති ගලින් කර ඇති නිර්මාණය තුලින් නිල් පැහැති ආලෝකයක් නිහාල්ගේ නළල දෙසට නිකුත් විය. නිහාල් කෑගසන්නට විය. අවට කිසි ශබ්දයක් නොවූ හෙයින් ඔහුගේ හඬ දෝංකාර දෙන්නට වූවේය. චන්දරේ ගල්ගැසී කිසිත් කරකියාගැනීමට නොහැකිව සිටියේය. ඔහුගේ කටින් හඬ නිකුත් වූයේ නැත.
එකවරම නිහාල් බිම ඇද වැටෙනට විය. ඉන්පසු කඳුමුදුන් වලින් නිකුත් වූ ආලෝකයන් අතුරුදන් වූවේය. චන්දරේ එතනට දුව ආවේය. 
" නිහාල්, නිහාල්, මොකද වුනේ" 
නමුත් හඬක් පිටකළේ නිහාල් නොවේ
නිහාල්ව වාඩිකරවීමට සමත් වූ චන්දරේ දුටුවේ නිහාල්ගේ අතේ මින් පෙර නොවූ සළකුණකි
" එහෙනම් ඒක වෙලා. ගවරා ශක්තියේ සැබෑ උරුමක් "
චන්දරේට පැවසීමට හැකිවූයේ එපමණි. එකවරම පැමිණි තියුණු පිහි තලයක් ඔහුගේ ගෙල හරහා ගොස් ඇත. 
" න් න් නිහාල්" ඔහුගේ අවසන් වචනයද වා තලයට මුහුවී තිබුණි. 
" ශ්......... සාක්කිකාරයො එපා"
එය ඉතා රෞද්‍ර වූ කටහඩක් විය. එය නිකුත්වූයේ නිහාල්ගේ මුවිනි. රිදුරු සිනහවකින් මුව සරසාගත් ඔහු එකවරම පැමිණි අන්ධකාරයේ සැඟව ගියේය....


1 comment:

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..