මොනිකා රුවන්පතිරණ කිවිඳිය ජනතාවාදී සහ ස්ත්‍රීවාදී කිවිඳියක් ලෙසින් හඳුන්වා දිය හැකිය. මෙය 70 දශකයේ දී කාව්‍යකරණයට පිවිසෙමින් පංති විෂමතාවය , සමාජ අසාධාරණය, ළමා ලෝකය හා කාන්තාව යන විවිධ පැතිකඩයන් ඔස්සේ තම පද්‍ය නිර්මාණ සිදු කරමින් සිංහල පද්‍යාවලිය පෝෂණය කිරීමට සමත් විය. මෙකී පොඩි දුව පද්‍ය පන්තිය මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය නම් පද්‍ය සංග්‍රහය අන්තර්ගත පැදි පෙළක් වේ.
කිවිදියගේ අරමුණ වන්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින, ආර්ථික දුෂ්කරතාවන්ගෙන් යුක්ත පවුලක තරුණියක් බැලමෙහෙවරකම් කිරිමට ගිය පසු සමාජය විසින් ඇයට ආමන්ත්‍රණය කරන ආකාරය මගින් සමාජ අසාධාරණකම් මෙන් ම උත්තම වූ මව් සෙනෙහසේ අගය ධ්වනිත කිරීමයි. මේ සඳහා කිවිඳිය භාවිතා කර ඇති භාෂාව, ආකෘතිය සේම විරිත, අනුප්‍රාසය ආදී කාව්‍යෝපක්‍රම රසෝත්පාදනයෙහි ලා දායක වී ඇති ආකාරය පිළිබඳ විමසීමක යෙදෙමු.
මෙම පැදි පෙළෙහි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ අත්දැකීමෙහි ප්‍රබලතාවය බව කිව යුතුය. එසේම තමා විසින් සිදු කරන ආත්ම භාෂණයක් ලෙසින් මෙකී පද්‍ය විරචිත ය. මෙහි ආකෘතිය වන්නේ අත්දැකීමට උචිත සකසා ගත් කාව්‍ය ආකෘතියකි. කටවහරට සමීප භාෂා ශෛලියකින් මෙය ලියැවී ඇති බව නිර්මාණය රස විඳීමේදී පසක් වේ.
උදා: අතින් හිසින් බර උහුලන්..
කෑම බීම උයා පිහා..
නිදි පැදුරෙ ඇලවුනාම..
ඕනෑම පාඨකයෙකුට කියවා රස විඳිය හැකි සරල, සුගම බස් වහරකින්ද මෙකී පැදි පෙළ පෝෂිත වේ. මොනිකා රුවන්පතිරණ කවියට පිරිතක් අවශ්‍ය වේ ය යන ආකල්පය හි පිහිටි රචිකාවියකි. ඇය මෙහිදී එළි වැට, එලි සමය ආරක්ෂා කිරීමේ රීතියෙහි පිහිට මාත්‍රා 24 විරිතකට අනුව උක්ත පැදි පෙළ රචනා කොට ඇත. මෙය කවර කවි මගක් සේවනය කළ ද අනූපමය කාව්‍යමය ගුණයකින් සුපෝෂිත බව කිව හැකිය.
අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට
දකින කෙනෙක් මට කිව්වේ ඒ වැඩකාරියක් කියලා
පොඩි දරුවකු අතින් අරන් පාසලකට මං යනකොට
එතන හිඳින අය කීවේ බේබිගෙ ආයම්මා කියලා
ඉහත කාර්යය දෙස නිර්මාණක්ශිය යොමන විට මාහැඟි කරුණක් වන්නේ පුද්ගලයන් නියැලී සිටින කාර්යයට අනුව ඔහුව හෝ ඇයව නාමකරණය කරන පහත් ක්‍රමවේදයක් ද අප සමාජය පවතින බව පාඨකයාට පසක් කිරීමට කිවිඳිය උත්සාහ කර ඇති බවයි. ඇයගේ නිසඟ කවිත්වය හේතුකොටගෙන පාඨක හද තුළ කරුණ රසයක් ධ්වනිත කිරීමට එම පද්‍ය හේතු වී ඇත. එසේම අතින්,හිසින්,උසුලන් ආදිය අනුප්‍රාසය ජනිත කරවන යෙදුම් ද මෙම නිර්මාණය සඳහා යොදාගෙන තිබීමෙන් මෙහි සාහිත්‍යමය වටිනාකම ත්‍රීව්‍ර කරයි.
කෑම බීම උයා පිහා මං දරදිය අදින කලට
දකින සියලු දෙනා කීවේ ගෙදර කුස්සිය අම්මා කියලා
ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරෙ ඇල වුනාම
තවමත් සිහිනෙන් උබ මට කියන්නේ පොඩි දුවේ කියලා
මෙය චිත්ත රූප ජනනය කිරීමට සමත් පැදි පෙළක් බව මා හැඟි කරුණකි. කෑම බීම උයා වෙහෙස මහන්සි වී නිවසක මෙහෙකාරකම් කරන තරුණියක් මෙයින් නිරූපණය වේ. එසේම මෙම පැදි තුළ උපමා රූපක නැති තරම් වුවද මෙහි සාර්ථකත්වය උදෙසා එයම ආභරණයක් වී ඇත.
එසේම මෙම කිවිඳිය ශබ්ද රසය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා නොමැත. නිරුත්සාහකවම භාෂාවෙන් මතුවන රිද්මය මෙහි දක්නට ලැබේ. සිව් පද ආකෘතියකින් මේ රචනා වී ඇත.
අප කිවිඳියගේ පෞද්ගලික ජීවන දෘෂ්ටිය වන්නේ කෙනකුගේ රැකියාව මුල්කරගෙන පුද්ගල නාම කරණය කිරීම සාධාරණ බවයි. මේ ඇසුරින් විමසා බැලීමේදී ගම්‍යමාන වන්නේ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ පොඩි දුව පද්‍ය පන්තිය මගින් මව් සෙනෙහස ජනනය වන්නා වූත්, සමාජ අසාධාරණකම් නිරූපණය වන්නා වූ සාර්ථක පැදි පෙළක් බවයි.
👌👌
ReplyDelete👌👌👌
ReplyDelete🖤
ReplyDelete✍️🤟✨️✨️
ReplyDelete