.....

උපභාෂා හා පරිමිත භාෂා

පරිමිත භාෂා හා උපභාෂා 


මානව ශිෂ්ටාචාරයෙහි මෙතෙක් නිපදවා ඇති විවිධාකාර වූ අපූර්ව නිමවුම් අතුරින් ප්‍රධාන සේම අපූර්වතම නිර්මාණය භාෂාව ලෙස සැළකුව මනාය. උපතේ සිට මරණය දක්වා වූ මනුෂ්‍ය ජීවිතයේ සියලු කාර්යයන් සමඟ අත්‍යන්තයෙන් බැඳී පවත්නා භාෂාව, මානවයා සතුන්ගෙන් වෙන්කර හඳුනා ගන්නා මුඛ්‍යතම ලක්ෂණය ද වන්නේය. භාෂක සමාජයේ සාමාජිකයන් සමඟ සන්නිවේදන කටයුතු සේම අනෝන්‍ය ක්‍රියාකාරීතා පැවැත්ම සඳහා වැනි සමාජීය කාර්යයන් සඳහා ප්‍රබලව උපයෝගී කොට ගන්නා මෙකී භාෂාව චින්තනය හා අදහස් අභිලාෂයන් පළ කිරීම වැනි පෞද්ගලික කාර්යයන් සඳහා ද උපයුක්ත කොට ගනී. 

භාෂාව උපන්නේ කවදාදැයි නියත වශයෙන් කිව නොහැකි වුවත් මෙතෙක් ලොව පහළ වූ භාෂා සංඛ්‍යාව දහස් ගණන ඉක්මවයි.මෙකී සමහරක් භාෂා අද දක්වාම ව්‍යවහාරයේ පැවතියත් සමහරක් අභාවයට පත්ව ඇත. ලෝකයේ සියලුම භාෂා ස්වරූපයන් ජීව භාෂා, සම්භාව්‍ය භාෂා හා මෘත භාෂා ලෙසින් තුන් වර්ගයකට වෙන් කළ හැකිය.

භාෂක සමාජයක සිටින සාමාජිකයන් සියලු දෙනාටම පොදු වූ භාෂාවක් උපයුක්ත කොට භාෂණයේ යෙදුණත් යම් යම් විවිධතා ඔස්සේ එකී සාමාජිකයන් වහරනු ලබන භාෂාවන්හි සුළු වෙනස්කම් පවතී. මෙකී වෙනස්කම් අතරෙහි වාග්මාලාව නැතහොත් වාක්‍ය රටා, ශබ්දයෝග රටා, පදකයෝග රටා සේම උච්චාරණය හා අවධාරණ ස්වරූපය, ස්වරයේ උච්චනීතාව හා කටහඬ ආදියෙහි කැපී පෙනෙන වෙනස්කම් පවතී. මනුෂ්‍ය කණ්ඩායම් සතුව පවතින මෙයාකාර සුවිශේෂීතාවන් පදනම් කරගෙන වෙන් වෙන් වශයෙන් පිරිස් ඒකරාශි වීම නිසා ඔවුන් අතරෙහි පවත්නා වූ අනෝන්‍ය සම්බන්ධය, අභ්‍යන්තර සුහදතාව සේම කුළුපගතාවයද දැඩිව වර්ධනය වීම නිරායාසයෙන් සිදු වේ.

යම්කිසි භාෂාවක් වහරන භාෂක සමාජය සැතපුම් සිය දහස් ගණන් විශාල භූමි ප්‍රදේශයක් කරා ව්‍යාප්ත වූ කල්හි ඔවුන් අතර ගමනාගමන පහසුකම් ප්‍රමුඛ වූ නොයෙකුත් සන්නිවේදන බාධා මතු වේ. භූගෝලීය බාධක මතු නොව එකම ප්‍රදේශයේ වුවද සමාජයේ එක් කොටසකට තවත් කොටසක් හා සන්නිවේදන ඝනත්වය අඩු කරවන සාමාජීය බාධකයන් ද පැන නැගේ. මෙසේ බාධා මතු වූ කල්හි ක්‍රමයෙන් ඒ ඒ පිරිස් ඒ කොටස තුළ සිටින්නා වූ සාමාජිකයන්ට පොදු වූ ලක්ෂණයන් සහිත ප්‍රාදේශීය හා සමාජයීය වශයෙන් උපභාෂා නිර්මාණය කරගනු ලැබේ.

මේ අනුව සරලව ගත් කල උපභාෂා යනු සම්මත භාෂාවෙන් බිඳී ආ භාෂා ප්‍රභේදයක් වන අතර එක් ප්‍රදේශයකට හෝ සමාජ කණ්ඩායමකට පොදු වූ ලක්ෂණ වලින් සමන්විත භාෂා ව්‍යවහාරයකි. නැතහොත් ප්‍රධාන භාෂාව තුළ පවත්නා වූ උප ප්‍රභේදයන්ද මෙලෙස හැඳින්විය හැකිය. 
මෙකී උප භාෂාවන් යම්කිසි සමාජ කාණ්ඩයකට හෝ ප්‍රදේශයකට සුවිශේෂීව ඇති වූවක් ලෙස හැඳින්විය හැකිය.
නිරන්තරයෙන් වෙනස් වීම ඕනෑම ජීව භාෂාවක ස්වභාවික ලක්ෂණයකි. නමුදු උපභාෂා වහරන භාෂක සමාජයේ සාමාජිකයන්ට අපහසුවකින් තොරව එම භාෂාව වටහා ගැනීමේ හැකියාව පවතින තාක් කල් එය උපභාෂා නමින්ම හැඳින්වේ. එසේම එය වටහා ගැනීමට අපහසු වන තරමටම වෙනස්කම් වර්ධනය වූ විට වෙනම භාෂාවක් ලෙස සලකනු ලැබේ.
උප භාෂාවක් හඳුනාගැනීමේ නිර්ණායක පවතී. ඒවා නම්,
අනෝන්‍ය අවබෝධය 
භාෂාමය ව්‍යවහාර ප්‍රභේද 
එකම ප්‍රදේශයක පැවතීම 
සියල්ලන්ම තමන්ට සම්මත වූ භාෂාවක් ව්‍යවහාර කිරීම ආදියයි.

උප භාෂාවන්ට අදාල විවිධ වූ නිර්වචන පවතී. ඒවා අතුරින් ආනන්ද ජයසේකයන් විසින් නිර්වචනය කරන ලද නිර්වචනයක් මෙහි දැක්වේ.

එකම භාෂා සමාජයක් තුළ ප්‍රදේශික වශයෙන් හා සාමාජික වශයෙන් පවත්නා විවිධ ව්‍යවහාර "උපභාෂා" (Dialects) නමින් හැඳින්වෙයි. විභාෂා හා ප්‍රදේශික ව්‍යවහාර නමින්ද හඳුන්වන්නේ මෙයම වෙයි. 

-ජයසේකර: ආනන්ද, වාග්විද්‍යා තුලනාත්මක ලිපි, සම්භාව්‍ය ප්‍රකාශන, කැළණිය, 1996, 14 පිටුව

ප්‍රධාන වශයෙන් උපභාෂා ප්‍රභේද දෙකක් පවතී. ඒ,
ප්‍රදේශීය උපභාෂා (Regional Dialects)
සමාජීය උප භාෂා (Social Dialects)
වශයෙනි.

ප්‍රදේශීය උපභාෂා යනු යම්කිසි භාෂා ව්‍යවහාරයක් භූගෝලීය සාධක මත සීමා කර දැක්විය හැකි නම් එවැනි භාෂා ව්‍යවහාරයන් වේ.

ඒ අනුව සංස්කෘතිය පාරිසරික විශේෂතා සිතුම් පැතුම්, ආගමික විශ්වාස හා ඇදහිලි, සංක්‍රමණික පසුබිම ආදී හේතූන් පදනම් කරගෙන මෙකී ප්‍රදේෂීය උප භාෂාවන් බිහිවේ. 

ප්‍රදේශීය උපභාෂාවන්හි විවිධත්වය රඳා පවතිනුයේ එම භාෂාව වහරන භාෂක සමාජය පැතිර පවත්නා භූමියේ විශාලත්වය මතය. එකී භූමිය පැතිර පවත්නා විශාලත්වය වැඩි වන විට උපභාෂා අතර පරතරය වැඩි වනවා සේම, භූමියේ විශාලත්වය අඩු වන විට එහි පරතරය අවම වේ.
ලංකාවේ ප්‍රාදේශීය උපභාෂා ව්‍යවහාර 11ක් පමණ ඇති බවට විද්වතුන් පෙන්වා දෙයි. නමුදු සිංහලයේ සම්මත ව්‍යවහාරය (standard dialect) වන්නේ බස්නාහිර නැතහොත් කොළඹ ප්‍රදේශයේ උපභාෂාව යැයි කිව හැකිය.

මෙකී ප්‍රදේශීය උපභාෂාවන්ට නිදසුන් වශයෙන්,

බස්නාහිර පළාත් ජන බසෙහි සාමාන්‍ය ව්‍යවහාරයේ පොත්ත යනුවෙන් වහරන වචනය එකී ජන වහරේදී "හිවිඩ්ඩ" යනුවෙන් හඳුන්වයි. එසේම මැස්ස යන වචනය "පන්දලම" ලෙසත් , මංගල්‍යයේ දෙවෙනි ගමන "ඉසදියට යෑම ලෙසත්", නෙරි පොට යන වචනය "හේලංකඩ" ලෙසත් හඳුන්වයි. 
මීට හාත්පසින්ම වෙනස් බස් වහරක් හත්කෝරළේ භාෂාවන්හි පවතී. ඔවුන් සිංහල අලුත් අවුරුද්ද හඳුන්වන්නේ "කෝණ ගෙඩිය" ලෙසයි. එසේම කරදරයකට පත් වූ අවස්ථාවක් හඳුන්වනු ලබන්නේ "අසක්කුව" ලෙසයි. දැරියක මල්වර වීම "දැන මිති වෙනවා" ලෙසත්, මුත්‍රා කිරීම "බඩදිය බානවා" ලෙසත් මොවුන් ව්‍යවහාර කරයි. 
එසේම නුවරකලාවියේ උපභාෂාවත් මීට වෙනස් ස්වරූපයක් ගනී. ඔවුන් කඩිසර ස්වභාවය හඳුන්වන්නේ "උරුම්බුට්ටිකොම" වශයෙනි. හිතුවක්කාරයා "මෝලංගිරියා" ලෙසද, තොරතුරු "පානිපා" යන වචයෙන්ද ඔවුන් හඳුන්වයි. 
එසේම වන්නි ජන බසෙහි නිදාගන්නවා යන්න වහරනු ලබන්නේ "කුද ගහනවා" යනුවෙනි. එසේම විවාහ මංගල කටයුත්ත "තරුවාව" ලෙසත්, විවාහය "තාන්තුවාව" ලෙසත්, ගමන් මල්ල "කුට්ටි සාක්කුව" ලෙසත් හඳුන්වනු ලබයි. 
එසේම උඩරට ප්‍රදේශයේ කම්මැළියා "සෝමාරියා" වශයෙනුත්, නොසැලකිල්ල "අද්දුවන්කම" ආදී ලෙසත් වහරයි. 

සමාජීය උපභාෂා ලෙස හඳුන්වන්නේ ප්‍රධාන සමාජයේම පවතින්නාවූ කුඩා සමාජයක භාෂා පන්තියක් විසින් ව්‍යවහාර කරන භාෂාවයි. ප්‍රදේශීය උපභාෂක සමාජයන් අතුරෙහිම පන්ති භේදය වැනි සමාජ ආර්ථික බෙදුමක් හෝ කුල භේදය ආදී සමාජ ආරෝපිත බෙදුමක් හෝ ජීවන වෘත්තිමය බෙදීම් මෙකී සමාජමය උපභාෂාවන් බිහිවීමට පාදක විය හැකිය. 
මෙය සම්මත භාෂාවෙන් වෙනස් වූවක් වේ. මෙකී සමාජය තුළ උපභාෂා බිහිවීමට ප්‍රධාන හේතුව 'උපසංස්කෘති සංකල්පය' ලෙසද දැක්වුව මනාය.
ලංකාවේ නාගරික ප්‍රදේශවල වාසය කරන දුගී පැල්පත්වාසීන් වැනි අධ්‍යාපන මට්ටම අඩු විරැකියාවෙන් පෙළෙන දුප්පත් ජනයා අතර සේම උගත්කමෙන් රැකියාවල යෙදෙන මධ්‍යම පාන්තික ජනයා අතර එදිනෙදා යෙදෙන බස්වහරෙහි වෙනස මෙම සමාජීය උපභාෂාමය වෙනසක් ලෙස සැලකුව මනාය. 

මෙකී සමාජීය උපභාෂාවන්ට නිදසුන් වශයෙන් අහිකුණ්ඨික ජන බස, වැදි ජන බස, නූතන නාගරිකයේ උපභාෂාව ආදිය දැක්විය හැක. 
අහිකුණ්ඨික වහරේ දී, ඔබේ නම මොකක්ද යන ප්‍රශ්නය අසනු ලබන්නේ "නිපේරන්දි" යනුවෙනි. තාත්තාව "අබ්බට්" ලෙස හඳුන්වයි. එසේම අයියාව "අන්නා" ලෙසත්, නාගයා "ෆාමු" වශයෙනුත්, නැන්දණියව "අට්ටම්මා" ලෙසත් වහරයි. වැදි ජන බස් වහරේ මීට හාත්පසින්ම වෙනස් ව්‍යවහාරයක් පවතී. ඔවුන්ගේ බස් වහරේ විශේෂ ලක්ෂණයක් වන්නේ අප්‍රාණවාචී නාම පද වලට පොජ්ජ යන්නත්, ප්‍රාණවාචී නාම පද වලට පරව ලෑත්තෝ යන්නත් යොදා ගැනීමයි. 
නිදසුනක් වශයෙන්,
”තලා වරිග පොජ්ජ තනා දමාලා තියෙන්නේ. ඒ කිරි අම්මලෑත්තෝ කැලෑ ජෝජ්ජේ මංගච්චන කාලපොජ්ජෙදිං ඒ කිරි අම්මලෑත්තන්ගේ බඩපොජ්ජේ කැකුළෙක් ඉඳුතිබාලා තියෙනවා”
වැදි ජනයාගේ බසෙහි ව්‍යවහාර ලක්ෂණ හඳුනා ගනු පිණිස මෙකී පාඨය උපයෝගී වේ.
රොඩි ජනයා සාමාන්‍යයෙන් සිංහල ව්‍යවහාර කරන අතර වෙනත් කුලීන පිරිස් සිටින විට රහසිගත ව අන්‍යයන්ට වටහාගත නොහැකි ව්‍යවහාරයන් ද යොදා ගනිති.
නිදසුන්,
”මේ පෑල්ල අතු පොඩ්ඩෙයි යැප්පුවෙ මහ ලෝපෑල්ල”
(මේ ගෑනි වී පොඩ්ඩයි දුන්නේ, මහ ලෝබ ගෑනි) ආදී වශයෙනි. 
නූතන නාගරික උපභාෂීය පද පිළිබඳ අවධානය යොමු කළ විට, ඒවාද සාමාන්‍ය බස් වහරෙන් තරමක් වෙනස් වූ ඒවා වේ. නිදසුනක් ලෙස ඔවුන් කරදර/ අවහිර/ බාධා හඳුන්වන්නේ "ජිල්මාට්" ලෙසයි. විනාශයි යන වචනය "සෙත්තපෝච්චි" ලෙසත්, වෙනත් අයෙකුගේ අවශ්‍යතා ඉටුකරදීමට පක්ෂපාතීව නිතර වෙහෙසීම "කඩේ යනවා" ලෙසත්, මිය යනවා යන සාමාන්‍ය ව්‍යවහාරයේ එන වචනය "වලකජ්ජ ගහනවා" ලෙසත් හඳුන්වයි. 
සිරකරුවන්ගේ භාෂා ව්‍යවහාරය මඟින්ද සමාජීය උපභාෂාවක අනන්‍යතාවය උද්දීපනය කරයි. පාලකයන්ගේ රැවුම්,ගෙරවුම් අනේකවිධ තාඩන පීඩන මධ්‍යයේ ජීවිකාව ගෙන යන ඔවුන් ඔවුන්ගේ මානසික පීඩනය පිට කරනු ලබන්නේ එකී භාෂාව ඔස්සේය. 
"තොපි වගේ පිංචි වැඩ කරල නෙවෙයි ඩො අපි ඇවිල්ල තියෙන්නෙ, හොඳ හොඳ රොබරි දීලා"
සිරගෙය තුළ පිංචි වැඩ යනුවෙන් අදහස් කරනුයේ සුළු අපරාධයි. මෙකී භාෂාව සිරගෙයින් පිට අනෙකකුට වටහාගැනීමට උගහටය .

පරිමිත භාෂා යනුවෙන් හඳුන්වන්නේ යම් කිසි අරමුණක් සඳහා හෝ විශේෂිත සන්නිවේදන තත්ත්වයක් සඳහා භාවිතා කරන භාෂා විශේෂයකි. පරිමිත යන වචනයෙන් හැඟෙන්නේ කිසියම් සමාජ ප්‍රස්තාවයකට සීමා වූ යන අර්ථය යි. මෙකී පරිමිත භාෂා ප්‍රාස්තවික භාෂා ලෙසින්ද හඳුන්වයි. පරිමිත භාෂා ව්‍යවහාරයේ යොදා ගන්නා වූ වදන් පොදු ව්‍යවහාරයේ වෙනත් අර්ථ ප්‍රකාශ කිරීම උදෙසා යොදා ගැනේ. නිදසුනක් ලෙස පරිමිත භාෂාවේදී කමත් භාෂාවේ යොදා ගන්නා "යතුර" යන වචනය යොදා ගැනෙන්නේ කුල්ල හැඳින්වීම සඳහා වුවත් පොදු වහරේදී එම වචනය යොදාගන්නෙ දොර ඇරීම හා වැසීම උදෙසාය. එසේම "කොට උඩ යනවා" යනු වාහනයක් කොට උඩ තැබීම වුවද, පොදු ව්‍යවහාරයේ දී කොට උඩ යනවා යනු පිරිහීමට පත් වීමයි.  
පරිමිත භාෂා ස්වරූප පොදු භාෂාවටත්, පොදු භාෂා ව්‍යවහාරය පරිමිත භාෂාවටත් යොදා ගන්නා ආකාරය පිළිබඳව රසවාහිනී සඟරාවේ දැක් වූ උපුටනයක් මෙලෙස දැක්වීම වටී.

"වචනයක අර්ථය පිට මිනිසුන්ට පැහැදිලි වන්නේ වචනය භාවිතා කරන මිනිසාගේ හිත ඇතුලේ තිබෙන හැඟීමක් උඩවත් වචනයේ ගැබ් වූ අදහසක් උඩවත් නොව ඒ වචනය යොදන ලද පරිසරයත් වචනය ගැබ් කරන ලද සංඝට්ටනාවත් උඩ බව වටහා ගැනීම.."
(රසවාහිනී සඟරාව- 68 පිටුව)

මෙකී පරිමිත භාෂාවල සාමාජිකත්වය තාවකාලික වූවකි. එය යළි යළිදු සහභාගි විය හැකි වුවත් ස්ථිර සාමාජිකත්වයක් නොවේ. නිදසුනක් ලෙස අප විධිමත් සම්මුඛ පරීක්ෂණයකදී හැසිරෙන ආකාරයට බොහෝ ලෙසින් වෙනස් ආකාරයකට මිතුරකු සමඟින් කතාබස් කරන විට හැසිරේ. 
ප්‍රාස්තවික භාෂා ලේඛනයේ හා භාෂණයේ ස්වරූපය අනුව ශෛලයන් 5 කට බෙදා ඇත.
ඒවා නම්,
1)නොවෙනස් ශෛලිය (Frozen)
2)විධිමත් ශෛලිය (Formal)
3)උපදේශන ශෛලිය (consultative)
4)අනියම් ශෛලිය (casual)
5)සමීප හෝ ආත්මීය ශෛලිය (Intimate)
යනාදී වශයෙනි.

නොවෙනස් ශෛලියේ දී පරිමිත භාෂාව ස්ථාවරව පවතී. එනම් නොවෙනස්ව පවතී. මෙයට නිදසුන් ලෙස ප්‍රතිඥා දෙන අවස්ථා, යාඥා කිරීම හා විවාහ පොරොන්දු කියැවීම ආදී නෛතික අවස්ථාවන් දැක්විය හැකිය.

විධිමත් ශෛලියේ දී යම් නිශ්චිත අවස්ථාවක දී භාෂාව විධිමත් ව යොදා ගැනීම සිදු කරයි. නිදසුනක් ලෙස ශාස්ත්‍රීය දේශනයක්, වෘත්තිය රැස්වීමක් හෝ උපාධි ප්‍රදානෝත්සවයක් සම්මුඛ පරීක්ෂණයක් ආදී අවස්ථාවන් වේ.

උපදේශන ශෛලිය යනු ද්විපාර්ශික සන්නිවේදනයක් සිදු වන අවස්ථාවකි. මෙය අතීත අත්දැකීමක් නොමැති පුද්ගලයකු සමඟ කතා කරන අවස්ථාවන්හිදී යොදා ගනී. ආයතන ප්‍රධානියකු හා සේවකයෙකු අතරත්, ගුරුවරයකු හා ශිෂ්‍යයකු අතරත්, වෛද්‍යවරයකු හා රෝගියෙකු අතරත් මෙකී ශෛලිය ඔස්සේ සන්නිවේදනය සිදු වේ.

අනියම් ශෛලිය යොදාගනු ලබන්නේ සමීප අයෙකු සමඟ භාෂණයේ යෙදීමටයි. ඔහු හෝ ඇය සමඟින් අතීත අත්දැකීම් බොහෝවිට පවතී. නිදසුනක් ලෙස හොඳම යහළුවෙකු හා සංවාදයේ යෙදීම සේම පෞද්ගලික ලිපියක් ඔස්සේද සිදු වන්නේ මෙකී සන්නිවේදනයයි.

සමීප හෝ ආත්මීය ශෛලිය යනු අතිශය සමීප පුද්ගලයකු හා කතාබහ කිරීමේ දී යොදා ගන්නා භාෂාවයි. මෙය යුගල සන්නිවේදනයකි. ආදරවන්තයින් සමග අදහස් හුවමාරු කර ගැනීම, ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර භාෂණය, මව්පිය දූදරුවන් අතර භාෂණය උදෙසා යොදා ගන්නේ මෙයයි.  

ඉංග්‍රීසි භාෂාවෙහි රෙජිස්ටර් (Register) ලෙස හඳුන්වන්නා වූ භාෂාමය ව්‍යවහාර ප්‍රභේදය හැඳින්වීමට සිංහල වාග්වේදීන්ගෙන් සමහරෙකු 'ප්‍රාස්තවික උපභාෂා' ලෙසද තවත් අයෙකු 'ප්‍රාස්තවික ස්වරූපය' ලෙසද යොදා ගනී. එසේම මෙකී ප්‍රාස්තවික උප භාෂාවන්ට නිදසුන් වශයෙන් දැල් ඇදීමේ භාෂාව, මාළු වෙන්දේසි පොලේ භාෂාව, වරාය සේවකයන්ගේ භාෂාව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ භාෂාව සහ ගැහැණුන් දෙපිලකට බෙදී බැණ ගන්නා භාෂාව ආදී තාවකාලිකව අවස්ථාවන් උදෙසා උපයෝගී කොට ගනු ලබන, ඒ ප්‍රස්තාවයකට පමණක් සීමා වූ භාෂාව ව්‍යවහාර දැක්විය හැකිය.
මේවා අතුරෙන් විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ පවතින්නෙ ඉතා අපූරු වාග්මාලාවකි. විවිධ පන්ති මට්ටම් ඔස්සේ විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන් එකම මට්ටමකට ගැනීම මෙකී උප සංස්කෘතියේ මුඛ්‍ය අරමුණ වේ. විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක ශිෂ්‍ය කණ්ඩායම හඳුන්වන්නේ 'නැව' යනුවෙනි. විශ්වවිද්‍යාලය තුළ ගැහැනු ළමුන්ව හඳුන්වන නම් පවතී. බඩුව, ටොයියා, කිරි කිරි ටොයියා, අයිටා, කඳ අයිටා හා බොග අයිටා ආදී ලෙසිනි. එසේම නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හඳුන්වන්නේ ප්‍රෙශා, ප්‍රෙශී යනුවෙනි. නේවාසිකාගාර පාලකයා හඳුන්වන්නේ වෝඩා යනුවෙනි. විශ්වවිද්‍යාලය තුළ වාසගම හඳුන්වන්නේ වල්ගය ලෙසය. විශ්වවිද්‍යාලය තුළ පෙම්වතුන් සඳහා වෙන් කර ඇති ස්ථානය හඳුන්වන්නේ පූජා භූමිය ලෙසයි.

පරිමිත භාෂාවන් හා උපභාෂා යනු මොනවාදැයි යථෝක්ත කරුණු ඔස්සේ වීමංසනාක්ෂියට යොමු කෙරුණද ඒවා අතර ඇති වෙනස්කම් මොනවදැයි විමසා බැලීම වටී. 
පරිමිත භාෂාවකින් ක්ෂණිකව තවත් පරිමිත භාෂාවකට මාරු විය හැකි වුවත් උපභාෂාවක් එලෙස අවස්ථාවට අනුව ක්ෂණිකව මාරු කළ නොහැකිය. එසේම පරිමිත භාෂාවක සාමාජිකත්වය තාවකාලික වුවත් උපභාෂාවන්හි සාමාජිකත්වය ස්ථිර වුවකි. එමතු නොව පරිමිත භාෂාවන් සමාජයේ සාමාජික පිරිසක් විසින් සමාජීය ක්‍රියාවලියකට සහභාගී වන කාලසීමාව තුළදී පමණක් ව්‍යවහාරය කළද උපභාෂාවන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සමාජය තුළ බිහි වී ව්‍යාප්ත වෙමින් පවතී.

මේ අනුව උක්ත කරුණු ඔස්සේ උපභාෂා හා ප්‍රාස්තවික භාෂා යනු මොනවාදැයි සසාධකව තහවුරු වේ. 

No comments:

Post a Comment

සඳ අයිති අහසට හරි ආදරෙන්

, රිඳුම් පිරි හඳ විලෙහි ප්‍රේම කුසුමන් පිපී තිබුණා.. එකඳු තරුවක් නොමැති අඳුරක පුන් සඳක් වී සෙමින් නැඟුණා.. සිහින් ඉකියක් මුවින් මතුවන දිනයකත...

ජනප්‍රියම සිතළු..